අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ශාන්ති කර්මයක් සිදු කර දෙන බව පවසා පාසල් සිසුවියකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරණායක ආසන සංවිධායකවරයෙකු සහ අරණායක ප්‍රාදේශීය සභාවේ වත්මන් මන්ත්‍රීවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මාවනැල්ල මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා විසින් නිකුත් කළ නියෝගය අනුව සැකකරු ලබන 10 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබා ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ අරණායක ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අසංග දීපාල් බදුවත්ත නමැති පුද්ගලයෙකි.
අධිකරණයේදී අනාවරණය වූ කරුණු අනුව, සැකකරු මාවනැල්ල – හෙම්මාතගම මාර්ගයේ රුවන්දෙනිය, කැකිරිගොඩ ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන දේවාලයක් පවත්වාගෙන ගොස් තිබේ.
අගතියට පත් තරුණිය මාවනැල්ල, හිඟුල, ගනේතැන්න ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පාසල් සිසුවියක් වන අතර ඇය මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින්නියකි.
ඇයගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා බාධාකාරී දෝෂ ඉවත් කර දෙන ශාන්ති කර්මයක් සිදු කළ හැකි බව පවසා සැකකරු විසින් සිසුවිය සමීපයට ගෙන ඇති බවත්, ඒ අනුව සිදු වූ බව කියන ලිංගික අතවර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් අධිකරණයේදී වැඩිදුරටත් වාර්තා වී තිබේ.