Breaking

Post Top Ad

Thursday, June 18, 2026

තරුණයින් දෙදෙනෙකුගේ මීනිවළවල් හාරා තොයිලයක් නටලා

 කොස්ගම පරණගම පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබූ තරුණයන් දෙදෙනෙකුගේ මිනීවලක් කැණීම් කර එම ස්ථානයේ තොවිල් කටයුත්තක් සිදුකර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව කොස්ගම පොලිසිය පවසයි.

පසුගිය මැයි 16 වැනිදා කොස්ගම - තාවල්ගොඩ ඇලේ දියනෑමට ගිය තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබූ අතර, පසුව ඔවුන්ගේ දේහ කොස්ගම පරණගම පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබුණි.


පොලිසිය සඳහන් කළේ, පසුගිය 14 වැනිදා අලුයම් කාලයේ කිසියම් පිරිසක් එම මිනීවල අඩි දෙකක පමණ ගැඹුරට කැණීම් කර ඒ ආසන්නයේ තොවිල් කටයුත්තක් සිදුකර ඇති බවට මියගිය තරුණයන්ගේ දෙමාපියන්ට තොරතුරු ලැබී ඇති බවයි. ඒ අනුව ඔවුන් විසින් කොස්ගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය, සුසාන භූමිය ආසන්නයේ නිවසක සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කර ඇත. එහිදී අලුයම් කාලයේ කුඩා ලොරි රථයක් සහ යතුරුපැදියක් එම ප්‍රදේශයේ ගමන් කරන අයුරු නිරීක්ෂණය වී ඇති බව සඳහන් වේ.


එම තොරතුරු ඔස්සේ සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අදාළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබේ. සැකකරු ප්‍රකාශ කර ඇත්තේ තම බිරිඳගේ අසනීප තත්ත්වයක් සම්බන්ධයෙන් තොවිල් කටයුත්තක් සංවිධානය කළ බවත්, ඒ සඳහා මහියංගණය ප්‍රදේශයෙන් පැමිණි යකදුරන් පිරිසක් සහභාගී වූ බවත්ය.

සිද්ධියට සම්බන්ධ බව කියන යකදුරන් පිරිස හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට සහ නීතිය ඉදිරියට පැමිණවීමට කටයුතු කරමින් සිටින බව කොස්ගම පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Post Top Ad

Pages