මහනුවර තෙල්දෙණිය රෝහල ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයක් තුළින් පසුගිය ජූනි 17 වනදා සොයාගත් තරුණියගේ මළ සිරුර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
පොලිස් ආරංචි මාර්ග අනුව, මෝටර් රථය තුළ කාන්තා මළ සිරුරක් ඇති බවට පොලිසියට මුලින්ම දුරකථන ඇමතුමක් ලබාදී ඇත්තේ මියගිය තරුණියගේ පෙම්වතා බවට අනාවරණය වී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි සහ අම්පාර රෝහලේ භෞතික චිකිත්සකවරියක ලෙස සේවය කළ 33 හැවිරිදි පී. ආර්. ශ්‍යාමා දර්ශනී නමැති තරුණියකි. විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ඇය සහ ඇගේ පෙම්වතා වන කන්නෝරුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ටී. එම්. එස්. දිනෙත් දිසානායක නමැත්තා පසුගිය ජූනි 03 සිට 16 දක්වා නුවරඑළිය ප්‍රදේශයේ පෞද්ගලික සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බවයි.
අදාළ හෝටලයේ ආරක්ෂිත කැමරා දර්ශන (CCTV) පරීක්ෂා කිරීමේදී, සැකකාර පුද්ගලයා විසින් තරුණියගේ මුහුණ ආවරණය කර ඇයව මහත් අපහසුවකින් රැගෙන යන අයුරු සටහන්ව තිබූ බව පොලිසිය පවසයි.
පොලිස් සැකය වන්නේ දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව තරුණිය ඝාතනය කර, සිරුර හෝටලයෙන් පිටතට රැගෙන ගොස් මෝටර් රථයක තැන්පත් කර තෙල්දෙණිය රෝහල ආසන්නයේ දමා යන්නට ඇති බවයි.
මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මියගිය තරුණියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තෙල්දෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
මෙය සැලසුම් සහගත ඝාතනයක්ද, නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූ මරණයක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා නුවරඑළිය සහ තෙල්දෙණිය පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පුළුල් විමර්ශනයක් මේ වන විට ක්‍රියාත්මක වේ.