අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලකට සම්බන්ධ හිටපු නගරාධිපතිවරයෙකුට එරෙහිව බරපතළ ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් පුළුල් පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අම්පාර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ අංශය සඳහන් කරන්නේ, අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විට විමර්ශන මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි.
මෙම විමර්ශනය ආරම්භ වී ඇත්තේ රාජ්‍ය සේවයේ නිරත කාන්තා නිලධාරිනියක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවය. ඇයගේ ප්‍රකාශයට අනුව, සැකකරු නගරාධිපති ධුරය දැරූ සමයේදී තමන්ට විවාහ පොරොන්දුවක් ලබා දී සමීප සම්බන්ධතාවයක් ගොඩනඟාගෙන ඇති අතර, එම අවස්ථාවේදී බලහත්කාරයෙන් ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට චෝදනා කර තිබේ.
තවද, එම සිදුවීමේදී ලබාගත් පුද්ගලික ඡායාරූප යොදා ගනිමින් දිගින් දිගටම තර්ජනය කර ඇති බවත්, එම තර්ජන හේතුවෙන් වසර කිහිපයක් පුරා තමන් ලිංගික හා මානසික පීඩනයකට ලක්වූ බවත් පැමිණිලිකාරිය ප්‍රකාශ කර ඇත.
ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, විවාහ වන බවට ලබා දුන් පොරොන්දුව ඉටු නොකිරීමෙන් අනතුරුව තමන් සැකකරුගේ පියා වන හිටපු අමාත්‍යවරයා හමුවී සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කළද, ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු නොවූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට වැඩිදුර විමර්ශන පවත්වන අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.