Breaking

Post Top Ad

Thursday, June 18, 2026

මං තාත්තගෙ හොඳ යාළුවෙක් කියල, සිසුවියක් බයික් එකේ නග්ගං ගිහින්

 පෞද්ගලික උපකාරක පන්තියක් අවසන් කර නිවස බලා යමින් සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක රවටා යතුරුපැදියකින් පැහැරගෙන යාමට උත්සාහ කළ හිටපු යුද හමුදා සෙබළෙකු දෙණියාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, සැකකරු මෙම අපරාධය සැලසුම් කර ඇත්තේ සිසුවිය ගෙලෙහි පැලඳ සිටි රන් මාලය කොල්ලකෑමේ අරමුණින් බවයි.


සිද්ධිය වූ දිනයේ උපකාරක පන්තිය නිමවී නිවස බලා යමින් සිටි සිසුවිය අසලට යතුරුපැදියකින් පැමිණි සැකකරු, තමන් ඇයගේ පියාගේ සමීප මිතුරෙකු බව හඳුන්වා දී තිබේ. නිවස අසලටම ඇරලවන බව පවසමින් ඔහු සිසුවිය යතුරුපැදියට නංවාගෙන ගොස් ඇති අතර, ඔහුගේ කතාව විශ්වාස කළ දැරිය කිසිදු සැකයකින් තොරව යතුරුපැදියේ පසුපස අසුනට ගොඩවී ඇත.


කෙසේ වෙතත්, හෙල්මට් නොමැතිව තරුණියක යතුරුපැදියක ගමන් කරන අයුරු නිරීක්ෂණය කළ මාර්ග රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් එම යතුරුපැදිය නවතා පරීක්ෂා කර තිබේ. එහිදී යතුරුපැදිකරු ලබාදුන් පරස්පර ප්‍රකාශ හේතුවෙන් සැක සිතූ නිලධාරීන් සිසුවියගෙන්ද ප්‍රශ්න කර ඇති අතර, පසුව සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඔහු සිසුවියගේ පියා හඳුනන පුද්ගලයෙකු නොවන බවයි.


ප්‍රශ්න කිරීම්වලදී රන් මාලය කොල්ලකෑමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකළ බව සැකකරු පිළිගෙන ඇති බව පොලිසිය පවසයි. කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා මීට පෙරද මොණරාගල ප්‍රදේශයේදී සමාන ආකාරයකින් දැරියක රවටා ඇය සතු රන් ආභරණ කොල්ලකා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.


එම සිද්ධිය සම්බන්ධයෙන්ද විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, සැකකරුගේ තවත් අපරාධ සම්බන්ධතා පිළිබඳවද විමර්ශන ක්‍රියාත්මක වේ.


දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ සහ මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත දෙණියාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

Post Top Ad

Pages