නාත්තන්ඩිය නගරයේ යාචකයින් අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ ප්රහාරයකට ලක් වූ පුද්ගලයෙකු මියගොස් ඇති බව මාරවිල මූලස්ථාන පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ, අද (07) පෙරවරුවේ සිදුකළ විමර්ශනවලදී එම පුද්ගලයා මියගොස් සිටින අයුරු සොයාගත් බවයි.
මියගොස් ඇත්තේ කාක්කපල්ලිය ප්රදේශයේ පදිංචි 58 හැවිරිදි මාජීනා තිලක් මිරැන්ඩෝ නම් පුද්ගලයෙකි. ඔහු දීර්ඝ කාලයක් නාත්තන්ඩිය නගරයේ යාචකයෙකු ලෙස සැරිසරා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
පොලිස් විමර්ශනවලට අනුව, අදාළ යාචකයින් පිරිස අතර කලක සිට විවිධ ගැටුම් පවතින අතර, ඊයේ රාත්රියේද කිසියම් සිදුවීමක් මුල්කර ගනිමින් නැවතත් බහින්බස් වීමක් හටගෙන තිබේ.
එම ගැටුම අතරතුරදී සැකකරන යාචකයින් දෙදෙනෙකු විසින් එල්ල කළ තියුණු ආයුධ ප්රහාරයකින් බරපතළ තුවාල ලැබූ මාජීනා තිලක් මිරැන්ඩෝ මහතා එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට යාචකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීමට නියමිතය.
මාරවිල මූලස්ථාන පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.