Breaking

Post Top Ad

Sunday, July 12, 2026

තරුණයකු පැහැරගෙන අමානුෂික වද දුන් කල්ලියක් කොටුවෙයි

 

තරුණයෙකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වධහිංසා පැමිණවූ බවට සැක කෙරෙන පස්දෙනෙකුගෙන් සමන්විත කල්ලියක් තියුණු කඩු සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට යාපනය පොලිසිය සමත්ව තිබේ.


පොලිස් තොරතුරු අනුව, ඉකුත් 5 වැනිදා යාපනය හින්දු විද්‍යාලය ආසන්නයේ සිටි තරුණයෙකු සැකකරුවන් විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇත. අනතුරුව ඔහු රහසිගත ස්ථානයකට රැගෙන ගොස් ඇඳුම් ඉවත් කර නිරුවත් කරමින් අමානුෂික ලෙස වධහිංසා පමුණුවා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.


බරපතළ තුවාල ලබා සිටි එම තරුණයා පසුව යාපනය බොස්කෝ පාසල අසල දමා සැකකරුවන් පලාගොස් ඇති අතර, ලැබුණු බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඔහුව සොයාගෙන වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.


මේ අතර, මාර්ග රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට අධික වේගයෙන් හා සැකකටයුතු අයුරින් ධාවනය වූ මෝටර් රථයක් නිරීක්ෂණය වී ඇත. පොලිස් සංඥා නොතකා ඉදිරියට ධාවනය කළ එම රථය ලුහුබැඳ ගිය නිලධාරීන් අවසානයේ එය වටලා එහි සිටි සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ. එම මෝටර් රථය යාපනයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයකට අයත් එකක් බවට පොලිසිය සැක පළ කරයි.


සැකකරුවන් සන්තකයේ තිබී තියුණු කඩු දෙකක් සහ ග්‍රෑම් 2.5ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. එමෙන්ම අත්අඩංගුවට ගත් මෝටර් රථයේ දොරවල් සහ ආසන මත ලේ පැල්ලම් දක්නට ලැබී ඇති අතර, ලේ තැවරුණු ඇඳුමක් ද සාක්ෂි ලෙස පොලිස් භාරයට ගෙන ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ යාපනය අපරාධ වැළැක්වීමේ ඒකකය පුළුල් විමර්ශනයක් සිදුකරමින් සිටින අතර, සැකකරුවන්ගේ සම්බන්ධතා සහ සිද්ධියේ පසුබිම පිළිබඳ වැඩිදුර විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

Post Top Ad

Pages