චීනයේ හෙන්ෂෝ (Hengzhou) ප්‍රදේශය හරහා 'මේසැක්' (Maysak) සුළි කුණාටුව හමා යාමෙන් ඇති වූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගංවතුර හේතුවෙන් ප්‍රදේශයේ පිහිටි සර්ප ගොවිපළකින් සර්පයන් 900කට ආසන්න සංඛ්‍යාවක් පලා ගොස් ඇති අතර, එම සර්පයන්ගෙන් බහුතරයක් ඉතා විෂ සහිත වර්ගවලට අයත් බව CNN පුවත් සේවය සඳහන් කර ඇත.
පලා ගිය සර්පයන්ගෙන් එක් සර්පයෙකු දෂ්ට කිරීම හේතුවෙන් කාන්තාවක් මියගොස් ඇති අතර, තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු ද සර්ප දෂ්ටනවලට ලක්ව ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර, චීන බලධාරීන් ප්‍රදේශවාසීන්ට අනතුරු ඇඟවී ඇත්තේ නිදැල්ලේ සැරිසරන සර්පයන්ගෙන් ඈත්ව සිටින ලෙසත්, එවැනි සතුන් දුටුවහොත් වහාම අදාළ අංශ දැනුවත් කරන ලෙසත්ය.
ගංවතුරෙන් බලපෑමට ලක්ව ඇත්තේ සර්ප ගොවිපළ පමණක් නොවේ. ප්‍රදේශයේ පිහිටි 'ගුයිගැං' (Guigang) සත්වෝද්‍යානය ද ජලයෙන් යටවීමත් සමඟ සීබ්‍රාවන් දෙදෙනෙකු, කුඩා අශ්වයන් තිදෙනෙකු, බූරුවන් දෙදෙනෙකු සහ තවත් සතුන් කිහිප දෙනෙකු පලා ගොස් ඇති බව වාර්තා වේ.
සත්වෝද්‍යානය විසින් නිකුත් කළ හදිසි නිවේදනයක දැක්වෙන්නේ, පලා ගිය සතුන් අතර සිටින ඇතැම් සතුන් බියට පත්වූ අවස්ථාවලදී ප්‍රචණ්ඩ ලෙස හැසිරිය හැකි බැවින් මහජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි.
එමෙන්ම එවැනි සතුන් දැකගතහොත් වහාම බලධාරීන්ට දැනුම් දෙන ලෙස ද ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
සත්වෝද්‍යානයේ හිමිකරු ප්‍රකාශ කර ඇත්තේ, ගංවතුර ජල මට්ටම ඉහළ යමින් තිබියදීත් සේවකයින් සිය ජීවිත අවදානමට ලක් කරමින් අනතුරුදායක සතුන් රඳවා තිබූ කූඩු ආරක්ෂිතව වසා දැමීමට කටයුතු කළ බවයි.
කෙසේ වෙතත්, සත්වෝද්‍යානයේ සිටි සිංහයන් තිදෙනෙකු ගංවතුර ජලයට හසුවීමෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
ඊට අමතරව, චීන 'ෂැංග්යූ නිවුස්' (Shangyou News) වාර්තා කරන්නේ මෙම ගංවතුර හේතුවෙන් ඌරන් 16,000කට වැඩි සංඛ්‍යාවක් ද ජලයේ ගසාගෙන ගොස් ඇති බවයි.