Breaking

Post Top Ad

Monday, July 13, 2026

කැපුම් තුවාල වලින් 88 හැවිරිදි පියා මියයයි - සැකපිට බාල පුතු අත්අඩංගුවට

 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත, සියඹලාගොඩ ප්‍රදේශයේ 88 හැවිරිදි පුද්ගලයෙකුගේ සිරුර නිවස ඉදිරිපිට කැපුම් තුවාල සහිතව සොයාගැනීමත් සමඟ ඝාතනයක් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව තංගල්ල පොලිසිය පවසයි.


මියගොස් ඇත්තේ බෙලිඅත්ත, සියඹලාගොඩ, දිගංවල ප්‍රදේශයේ පදිංචි කංකානම් ආරච්චිගේ ධනපාල මහතාය. ඔහු සිය බිරිඳ සමඟ එම නිවසේ පදිංචිව සිට ඇති අතර, ඊයේ (11) රාත්‍රී 8.00ට පමණ නිවස ඉදිරිපිට ජල කරාමයක් අසල වැටී සිටියදී සොයාගෙන තිබේ.


පොලිසිය සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ සිරුරේ කැපුම් තුවාල කිහිපයක් දක්නට ලැබුණු බවත්, ඔහු වැටී සිටි ස්ථානයේ මෙන්ම මුහුණෙහිද රුධිරය තැවරී තිබූ බවත්ය.


මූලික විමර්ශනවලදී මෙම මරණය ඝාතනයක් බවට සැක මතුවී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ 48 හැවිරිදි බාල පුත්‍රයා තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.


පොලිස් තොරතුරු අනුව, විශ්‍රාමික නාවික හමුදා සෙබළෙකු වන සැකකරු ඊයේ (11) පෙරවරු 11.00ට පමණ සිය පියාගේ නිවසට පැමිණ ඇති බව අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු අධික ලෙස මත්පැන් පානය කර සිටි බවද පොලිසිය සඳහන් කළේය.


සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස ස්ථානීය අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් ස්ථාන පරීක්ෂණ සිදුකර ඇති අතර, තංගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ අංශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.


Post Top Ad

Pages