Breaking

Post Top Ad

Monday, July 13, 2026

තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ගින්නක් 27ක් මරුට

 තායිලන්තයේ බැංකොක් නගරයේ පිහිටි මත්පැන්හලක ඇති වූ දරුණු ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ ගින්න වේගයෙන් පැතිර යද්දී විශාල ගිනිදැල් සහ ඝන දුම මධ්‍යයේ ජනතාව කෑගසමින් එම ස්ථානයෙන් පලා යන අයුරුයි.


සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තායිලන්ත අග්‍රාමාත්‍ය අනූටින් චාන්විරාකුල් පැවසුවේ මේ වන විට මළ සිරුරු 27ක් සොයාගෙන ඇති අතර තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදෙන බවයි.


ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළේය.


ගිනි නිවන භටයින්ට මිනිත්තු 30ක පමණ මෙහෙයුමකින් ගින්න පාලනය කිරීමට හැකි වූ නමුත්, එතෙක් ගොඩනැගිල්ලට සහ එහි සිටි පිරිසට දැඩි හානි සිදුව තිබූ බව වාර්තා වේ.


මියගිය පිරිස අතර පිරිමින් 9 දෙනෙකු සහ කාන්තාවන් 18 දෙනෙකු සිටින අතර, තවත් 60කට වැඩි පිරිසක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව බලධාරීහු පවසති.


තායිලන්තයේ Thairath පුවත් සේවය වාර්තා කළේ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව මෙතෙක් තොරතුරු නොමැති අතර ඔවුන් අතුරුදන්ව සිටිය හැකි බවයි.


ගින්න හටගත් අවස්ථාවේදී මත්පැන්හලේ සංගීතය සපයමින් සිටි සංගීතඥයෙකුගෙන් සිද්ධිය පිළිබඳව විමසූ බව අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසීය.


ඔහුට අනුව, ප්‍රධාන විදුලි ස්විචය ආසන්නයෙන් ගින්නක් හටගෙන ඇති අතර, ඉන් අනතුරුව තත්පර කිහිපයක් තුළ ගින්න වේගයෙන් පැතිර ගොස් ඇත. පසුව පිපිරීමක්ද සිදුව ඇති අතර, දුම සහ ගිනිදැල් මධ්‍යයේ සිටි සියලු දෙනා ජීවිත බේරා ගැනීම සඳහා පිටතට පලා යාමට උත්සාහ කළ බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Post Top Ad

Pages