අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ අනතුරුදායක යතුරුපැදි ධාවනයක් හේතුවෙන් දරුණු රිය අනතුරක් සිදුව, පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ අතුරුගිරිය, පෝරේ, බක්මීගහ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි අහංගම වෙදගේ දෙනෙත් විදුෂණ නම් සිසුවාය.
පොලිස් තොරතුරු අනුව, අනතුර සිදුව ඇත්තේ සිසුවා තම මිතුරෙකු විසින් පදවන ලද යතුරුපැදියක පිටුපස අසුනේ ගමන් කරමින් සිටියදීය. එහිදී යතුරුපැදිකරු අධික වේගයෙන් ධාවනය කරමින්, ඉදිරි රෝදය ඉහළට ඔසවා එක් රෝදයකින් ධාවනය කිරීමට උත්සාහ කර ඇත. එම අවදානම් ක්‍රියාව හේතුවෙන් වාහනයේ පාලනය අහිමි වී, මාර්ගයෙන් ඉවතට පැන, විරුද්ධ මංතීරුවේ නවතා තිබූ ලොරි රථයකට මුහුණට මුහුණ ගැටී ඇත.
ගැටුම දැඩි වීම හේතුවෙන් යතුරුපැදිය කොටස් දෙකකට කැඩී ගොස් ඇති අතර, එහි ගමන් ගත් දෙදෙනාම මාර්ගයට විසි වී ඇත. තුවාල ලැබූ ඔවුන් දෙදෙනාම ප්‍රදේශවාසීන් විසින් වහාම හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබුණි. එහිදී පසුපැදිකරු ලෙස ගමන් කළ සිසුවා මියගොස් ඇති අතර, බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර ඇත.
අනතුර පිළිබඳ මුල් පරීක්ෂණ කටයුතු හෝමාගම හදිසි මරණ පරීක්ෂක චින්තක උදය කුමාර මහතා විසින් සිදුකර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම්. එස්. දිනෙත් මහතා වෙත යොමු කර ඇත. වාර්තා අනුව, ලොරි රථය හා යතුරුපැදිය අතර සිදුවූ ගැටීමෙන් හිසට ඇති වූ දැඩි තුවාල හේතුවෙන් මරණය සිදුව ඇති බව අනාවරණය වී තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.