Breaking

Post Top Ad

Friday, March 27, 2026

අත්බෝම්බ ප්‍රහාරයක් - අම්බලන්ගොඩ ව්‍යාපාරිකයකුගේ නිවසකට

 

දකුණු පළාතේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ලලිත්සිරි හැළඹගේ මහතාගේ අම්බලන්ගොඩ, මහඅම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට අද අළුයම අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇත.


යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති අතර එය සීසීටීවී කැමරාවකද සටහන්ව තිබේ. කෙසේවෙතත්, එල්ල කළ අත්බෝම්බය පුපුරා නොගොස් තිබීම හේතුවෙන් විශාල හානිවක් සිදුවී නොමැත. ප්‍රහාරයෙන් අනතුරුව සැකකරුවන් ස්ථානයෙන් පලා ගොස් ඇත.


එම අවස්ථාවේදී මාර්ග ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි ඇල්පිටිය කොට්ඨාස අපරාධ කාර්යාංශයේ යතුරුපැදි ඒකකය විසින් සැකකරුවන්ට නවත්වන ලෙසට අණ කළද, ඔවුන් එය නොතකා ඉදිරියට ධාවනය කර ඇත. අනතුරුව පොලිසිය කිලෝමීටර් 3ක පමණ දුරක් හඹා ගොස් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් සතුව තවත් අත්බෝම්බයක්ද සොයාගෙන තිබේ.


අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා එකකුස උපන් සහෝදරයන් වන අතර, ඔවුන් දෙදෙනාම සක්‍රීය යුද හමුදා සේවයේ නිරතව සිටින බව පොලිසිය අනාවරණය කරයි. ඔවුන් මෙම අපරාධය සිදුකර ඇත්තේ නිවාඩුවක් ලබා ගෙන සිටින අතරතුරදීය.


තවද, විදේශගතව සැඟව සිටින අපරාධකරුවෙකු විසින් රුපියල් ලක්ෂ දෙකක මුදල් කොන්ත්‍රාත්තුවක් ලබා දී මෙම ප්‍රහාරය සිදුකර ඇති බවත්, එහි අත්තිකාරම ලෙස රුපියල් 30,000ක් ගිණුමකට තැන්පත් කර ඇති බවත් සැකකරුවන් ප්‍රකාශ කර ඇත.


මෙම ප්‍රහාරය සිදුකළ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, හැළඹගේ මහතාගේ සහෝදරයන් දෙදෙනෙකු වන ගාලු ක්‍රිකට් සංගමයේ හිටපු සභාපති ප්‍රේමසිරි හැළඹගේ සහ ධම්මික හැළඹගේ මීට පෙර වෙඩි ප්‍රහාරවලින් ඝාතනයට ලක්ව තිබේ.


අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදුකරමින් සිටින අතර, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත, ඇල්පිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහතාගේ අධීක්ෂණයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

Post Top Ad

Pages