කහවත්ත–නීලගම මාර්ගයේ ගමන් කරමින් සිටි සුළු පරිමාණ මැණික් ව්‍යාපාරිකයෙකු අබිරහස් ලෙස අතුරුදන් වූ සිද්ධියක් සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.
අතුරුදන් වූ පුද්ගලයා, සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කර ඉකුත් වසරේදී විශ්‍රාම ගත් පසුව මැණික් ව්‍යාපාරයට යොමු වූ අයෙකු බව අනාවරණය වී ඇත.
ඊයේ (28) දහවල්, කහවත්ත පොලිසියට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි නීලගම මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔහු අතුරුදන් වූ බවට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
අදාළ ව්‍යාපාරිකයා පැදූ යතුරුපැදිය මාර්ගය අයිනේ අත්හැර දමා ඇති බව හමුවී ඇති අතර, ඔහුගේ ජංගම දුරකථනය අද (29) උදෑසන සොයාගෙන ඇත. එය හමුවී ඇත්තේ සිද්ධිය සිදුවූ ස්ථානයට ආසන්නව පිහිටි කහවත්ත වැවිලි සමාගමට අයත් තේ වත්තක බව පොලිසිය සඳහන් කරයි.
අතුරුදන් වූ පුද්ගලයා සොයා ගැනීම සඳහා අද (29) උදෑසන රත්නපුර පොලිසියේ නිල සුනඛ අංශයේ සහාය ලබා ගත්ද, එම ස්ථානයේ පැහැදිලි ඉඟි කිසිවක් සොයාගැනීමට නොහැකි වූ බැවින් එම මෙහෙයුම සාර්ථක වී නැත.
මෙම සිද්ධිය සිදුවූ ප්‍රදේශය පාළු ස්වභාවයකින් යුක්ත වන අතර, එම ස්ථානයට මීටර් 300ක් පමණ ඉහළින් එක් නිවසක් සහ පහළින් නිවාස කිහිපයක් පිහිටා ඇති බව වාර්තා වේ.
පොලිසිය විසින් ගම්වාසීන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන තිබුණද, මෙතෙක් සැකකටයුතු තොරතුරු කිසිවක් අනාවරණය වී නොමැති බව සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටී.