Breaking

Post Top Ad

Tuesday, March 31, 2026

මින්නේරියේ වාන් ඇළකින් තිදරු මවකගේ මළසිරුරක් හමුවේ

 මින්නේරිය වැවෙන් කවුඩුල්ල වැවට ජලය ගෙන යන රත්මලේ ප්‍රදේශයේ වාන් ඇළකින් ඊයේ (30) උදෑසන පනස් පස් හැවිරිදි තිදරු මවකගේ මළසිරුරක් සොයාගෙන තිබේ. මියගොස් ඇත්තේ මින්නේරිය මහරත්මලේ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බවට හඳුනාගෙන ඇති අතර, ඇය දියේ ගිලීමෙන් මියගොස් ඇති බවට පොලීසිය සැක පළ කරයි.


මෙම කාන්තාව පෙරේදා උදෑසන දිය නෑමට යන බව පවසා නිවසින් පිටව ගොස් තිබුණද, දිගු වේලාවක් ගතවූවත් ඇය යළි නොපැමිණීම නිසා නිවැසියන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඇය ගිය බව කියන වාන් ඇළ අවට සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත. එහෙත් එදින සවස වනතුරුත් ඇය සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි වී තිබුණි.


ඊයේ උදෑසන, රත්මලේ ප්‍රදේශයේ ගොවියෙකු තම වගාවට ජලය ලබාගැනීමට වාන් ඇළට බැස සිටියදී, ගසක් අසල පාවෙමින් තිබූ මළසිරුර ඔහුට දක්නට ලැබී ඇත. ඒ පිළිබඳව ඔහු විසින් ප්‍රදේශවාසීන්ට සහ මින්නේරිය පොලීසියට දැනුම් දීමෙන් පසු, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මළසිරුර ගොඩගැනීමට කටයුතු කර ඇත.


මෙය දියේ ගිලීමකින් සිදුවූ මරණයක් විය හැකි බවට පොලීසිය ප්‍රකාශ කළද, නිශ්චිත හේතුව තහවුරු කිරීම සඳහා මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණයට යොමු කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මින්නේරිය පොලීසිය විසින් සිදුකරමින් පවතී.

Post Top Ad

Pages