නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි ලවර්ස් ලීප් දිය ඇල්ල නැරඹීමට පැමිණි 52 හැවිරිදි විදේශීය සංචාරකයෙකු, අවදානම් සහිත ගල්තලාවක සිට සෙල්ෆියක් ගැනීමට උත්සාහ කිරීමේදී පහළට වැටී බරපතල තුවාල ලබා ඇත.
අද (27) උදෑසන 11:30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
ඔහු සිය බිරිඳ සමඟ දිය ඇල්ල නැරඹීමට පැමිණ ඇති අතර, ඉහළ ගල්තලාවක සිට ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී ලිස්සා ප්‍රපාතයකට වැටී ඇත.
සිද්ධිය පිළිබඳව දැනුවත් වූ පසු, නුවරඑළිය පොලිසිය සහ නගර සභා ගිනි නිවන ඒකකය එක්ව ක්‍රියාත්මක වී දැඩි වෙහෙසකින් පසුව තුවාලකරු ආරක්ෂිතව පහළට ගෙන ආහ.
අනතුරින් ඔහුගේ පාදයකට බරපතල තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.