Breaking

Post Top Ad

Tuesday, March 31, 2026

ඉෂාරා සෙව්වන්දි වෙනුවෙන් CCD යේදී උපන්දින සාදයක්

 

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධයෙන් චෝදනා එල්ලව, කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින ඉෂාරා සෙව්වන්දි වෙනුවෙන් උපන්දින සැමරුමක් සූදානම් කළ බවට තොරතුරු වාර්තා වී ඇත.


සැකකාරියගේ උපන්දිනය පසුගිය ඉරිදා (29) දිනට යෙදී තිබූ අතර, එය සමරමින් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය තුළ කේක් කපා සැමරුමක් සංවිධානය කර තිබූ බවට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාට පෞද්ගලික ඔත්තුකරුවෙකු මගින් දැනුම් දී තිබේ.


එම තොරතුර බුද්ධි අංශ නිලධාරියෙකුගෙන් තහවුරු කරගැනීමෙන් අනතුරුව, අදාළ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී එම සැමරුම වහා නවත්වන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා දැඩි උපදෙස් ලබාදී ඇති බව සඳහන් වේ.


ඊට පසු, කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතා එම ස්ථානයට යවා සිද්ධිය පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස උපදෙස් ලබා දී ඇත. නියෝජ්‍ය පොලිස්පතිවරයා ද එම ස්ථානයට පැමිණ පරීක්ෂණ කටයුතු නිරීක්ෂණය කර තිබේ.


විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරා විසින් කේක් ගෙඩිය එම ස්ථානයට රැගෙන ආ බවයි. එමෙන්ම ඇයගේ ලොකු අම්මා සහ ඇයගේ පුත්‍රයාද උපන්දින සැමරුම සඳහා එහි පැමිණ තිබුණි.


පසුව සැකකාරිය සිර කුටියෙන් පිටතට ගෙන, ආසන්න ස්ථානයක කේක් කපන සඳහා සියලු සූදානම් කර තිබූ බවද හෙළිව ඇත. මේ සඳහා කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ අනුමැතිය තිබූ බවත් වාර්තා වේ.


තවද “කේක් එක කපලා ෆොටෝ ගන්න එපා, පසුව ඒවා අන්තර්ජාලයට යා හැක” යනුවෙන් ඔහු උපදෙස් ලබාදී තිබූ බවද සඳහන් වේ.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියගේ සොහොයුරා, ඇයගේ ලොකු අම්මා, ඇයගේ පුත්‍රයා සහ එම අවස්ථාවේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 15කට ආසන්න සංඛ්‍යාවකින් ප්‍රකාශ ලබාගෙන ඇත.


ඒ අතරම, කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ලිඛිතව දැනුම් දී තිබේ.


තවද, කේක් ගෙන ඒම සම්බන්ධයෙන් සැකකාරියගේ සොහොයුරා සහ ස්ථානාධිපතිවරයා අතර දුරකථන සංවාද පැවැත්වී ඇති බවත්, ඔවුන් අතර කලක් තිස්සේ සම්බන්ධතා පැවති බවත් විමර්ශනවලදී හෙළි වී ඇත.


මේ අනුව, උපන්දින සැමරුම සංවිධානය කිරීම සඳහා ස්ථානාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීමක් තිබූ බව පොලීසිය සඳහන් කරයි.


පොලිස් ආරංචිමාර්ග අනුව, අදාළ ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවීම සඳහා ඉදිරියේදී පියවර ගනු ඇතැයිද පැවසේ.


මෙම සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකෙරේ.

Post Top Ad

Pages