උඩ මත්තල කනිටු විදුහලේ සිසුන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙකු දින 10කට පසු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ සූරියවැව, රන්මුදුවැව, මහ අලුත්ගම ආර වැව් ඉවුර ප්‍රදේශයේ පදිංචි එච්. එම්. නිම්සර දෙනුවන් නමැති සිසුවා බව මත්තල පොලිසිය තහවුරු කරයි.
පොලිස් පරීක්ෂණ අනුව, මෙම ඛේදවාචකයට මුල් වූ සිදුවීම පසුගිය 23 වැනිදා දහවල් පාසල් භූමිය තුළ සිදුව ඇත. එහිදී මියගිය සිසුවා සහ 14 හැවිරිදි තවත් සිසුවෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් දැඩි ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ.
එම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ නිම්සර දෙනුවන් වහාම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු පළමුවැනිදා රාත්‍රියේදී ජීවිතක්ෂයට පත්ව ඇත.
සිද්ධියට අදාළව පහරදීම සිදු කළ බවට චෝදනා ලැබූ 14 හැවිරිදි සිසුවා එදිනම පොලිස් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. එහිදී ඔහු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කර ඇති අතර, පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ පියාගේ භාරයට පත් කර ඇත.
කෙසේ වෙතත්, තුවාල ලැබූ සිසුවාගේ මරණයත් සමඟ නීතිමය ක්‍රියාමාර්ග වෙනස් වීමට නියමිත බව පොලිසිය පවසයි. ඒ අනුව නව කරුණු අධිකරණයට ඉදිරිපත් කරමින්, දැනට ඇප මත සිටින සැකකාර සිසුවා නැවත පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට මත්තල පොලිසියේ අපරාධ විමර්ශන අංශය කටයුතු කරමින් සිටී.
මියගිය නිම්සර දෙනුවන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතය.
වීඩියෝ නරඹන්න 👇👇👇
