පාසල් ක්‍රිකට් තරගයක් අතරතුර ඇති වූ ආරවුලක් මත සිදු වූ පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ 11 වන ශ්‍රේණියේ සිසුවෙකු, කරාපිටිය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ මත්තල, උඩමත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16ක සිසුවෙකි.
පසුගිය 23 වන දින, සිය නිවසේ නාන කාමරය තුළ වැටී සිටියදී ඔහු දෙමාපියන් විසින් සොයාගෙන රෝහල්ගත කර ඇති අතර, හිසට ඇතිවූ බරපතළ තුවාල හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ජාතික රෝහලට මාරු කර යවා තිබුණි.
සිසුවා රෝහල්ගත කළ දිනයේම, මව මත්තල පොලිසියට ලබාදුන් ප්‍රකාශයක සඳහන් වන්නේ පාසලේ පැවැති ක්‍රිකට් තරගයක් අතරතුර ඇති වූ ආරවුලක් මත, එම විද්‍යාලයේම 10 වන ශ්‍රේණියේ සිසුවෙකු විසින් තම පුතාට පහර දී ඇති බවයි.
පොලිසිය විසින් සිදුකළ මූලික විමර්ශන අනුව අනාවරණය වී ඇත්තේ, එම සිද්ධිය සිදු වූ බව කියන දිනයේ සිසුවා පාසලේ කාලපරිච්ඡේද හතරක් පවා සහභාගී වී තිබූ බවයි.
ඉන් අනතුරුව ඔහු තම පාපැදියෙන් නිවසට ගොස් ඇති අතර, පසුව නාන කාමරය තුළ වැටී සිටියදී හමු වී ඇතැයි වාර්තා වේ.
මේ වන විට පහරදීම සිදුකළ බව කියන සිසුවාගෙන් සහ පන්තිභාර ගුරුවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, සැකකාර සිසුවා පොලිසිය වෙත කැඳවා ඇති බව ද මත්තල පොලිසිය පවසයි.
මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (02) දින කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මත්තල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටියි.
වීඩියෝ නරඹන්න 👇👇👇
