Breaking

Post Top Ad

Friday, April 3, 2026

මහනුවර සිසුන් දෙන්නා අනතුරකින් මරුට

 

මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂික ක්‍රිකට් තරගය සම්බන්ධ රාජකාරියකට යමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙකු බසයක ගැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මාරක අනතුර ඊයේ (2) උදෑසන බලගොල්ල රන්මල් ඔය පාලම අසලදී සිදුව ඇත.

දිගන ප්‍රදේශයෙන් මහනුවර දෙසට ධාවනය වූ යතුරුපැදියක් වේගය පාලනය කරගත නොහැකිව පෞද්ගලික මගී බස් රථයක ගැටී ඇති බව මුලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත. අනතුර සිදුවූ ස්ථානයේදීම යතුරුපැදිය පැදවූ සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පිටුපස ගමන් ගත් අනෙක් සිසුවා බරපතළ තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්ව තිබේ.


මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ උසස් පෙළ ගණිත අංශයේ ඉගෙනුම ලබමින් සිටි කස්තුරි නෙතුල සහ සචින් කරුණාරත්න යන සිසුන් දෙදෙනාය. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ 66 වැනි “සුරතලුන්ගේ සටන” ක්‍රිකට් තරගාවලියේ ආරක්ෂක කමිටුව නියෝජනය කරමින්, ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීමේ රාජකාරිය සඳහා ඔවුන්ට භාරදීමක් සිදුකර තිබුණි. එම රාජකාරිය සඳහා උදෑසනින්ම ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී දෙදෙනාම ආරක්ෂිත හිස්වැසුම් පැළඳ සිටියද, යතුරුපැදිය පැදවූ 17 හැවිරිදි සිසුවාට වලංගු රියදුරු බලපත්‍රයක් නොතිබූ බව රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර ඇත. එබැවින්, බලපත්‍රයක් නොමැතිව යතුරුපැදිය පැදවීමට ඉඩ ලබාදුන් පුද්ගලයාට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. මේ අතර, අනතුරට සම්බන්ධ පෞද්ගලික බස් රථය හා එහි රියදුරු මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.


මෙම ඛේදජනක සිදුවීම හේතුවෙන් ශාන්ත සිල්වෙස්ටර් සහ විද්‍යාර්ථ විද්‍යාල අතර පැවති 66 වැනි “සුරතලුන්ගේ සටන” ක්‍රිකට් තරගය අතරමග නවතා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පල්ලෙකැලේ පොලිසියේ රථවාහන අංශය විසින් සිදුකරනු ලබයි.


වීඩියෝ නරඹන්න 👇👇👇

Post Top Ad

Pages