Breaking

Post Top Ad

Thursday, April 23, 2026

වෙඩි තබා පී.සී ඝාතනය කලාට වසර 18 කට පසු මරණ දඩුවම ලැබෙයි

 වැටලීමකට ගිය බද්දෙගම පොලීසියේ පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලැබූ විත්තිකරුවන් සිව්දෙනා සම්බන්ධයෙන් වසර 18ක් දිගු වූ නඩු විභාගයකින් අනතුරුව, සිව්වැනි විත්තිකරුට මරණ දඬුවම නියම කරමින් අනෙක් විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට බලපිටිය මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා අද (22) පස්වරුවේ නියෝග කළේය.


මරණ දඬුවම නියම වූයේ බද්දෙගම කාමිංගල, මාර්ග සති මාවත පදිංචි මෙරෙන්චි කංකානම්ගේ පසාද් මනෝරංජන නොහොත් “කලුතර චූටී” නමැත්තාටය. ඔහු මෙම නඩුවේ සිව්වැනි විත්තිකරු වේ.


පළමු විත්තිකරු වන හපුගලගේ නිලන්ති, දෙවැනි විත්තිකරු වන ගුණෙත්තිගොඩ ලීලාවතී (මියගොස් ඇත) සහ තෙවැනි විත්තිකරු වන රණසිංහ පතිරණගේ පියන්ති යන තිදෙනා නිදොස් කොට නිදහස් කරනු ලැබීය.


මෙම සිද්ධියේදී වෙඩි තබා ඝාතනය කෙරුණේ බලපිටිය රන්දොඹේ පදිංචි, බද්දෙගම පොලීසියට අනුයුත්තව සේවය කළ පොලිස් කොස්තාපල් දිලිප් කුමාරසිංහ (15615) මහතාය.


2008 නොවැම්බර් 30 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී, පොලිස් කොස්තාපල් දිලිප් කුමාරසිංහ සහ පොලිස් සැරයන් ජගත් නන්දන (50472) යන නිලධාරීන් දෙදෙනා වැටලීමකට ගොස් සිටියදී, බද්දෙගම කාමිංගල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් දිලිප් කුමාරසිංහ මහතා මියගොස් තිබුණි.


මෙම ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරුවෙක් සහ විත්තිකාරියන් තිදෙනෙකුට එරෙහිව බද්දෙගම පොලීසිය විසින් බලපිටිය අධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණි.


රජයේ අධිනීතඥ සෙනුරි ගුණතිලක මෙනවිය නඩුව මෙහෙයවූ අතර, බද්දෙගම පොලීසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උඩුගමසූරිය මහතා ඒ සඳහා සහාය ලබා දී ඇත.

Post Top Ad

Pages