සොබාදහමේ කෲරත්වය සමහරවිට මිනිස් සිත් තුළත් නිවෙන්නාහ නොවන ගින්නක් වගෙයි. මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය, ශරීරයට පමණක් නොව, ලේ නෑකම්වල උණුසුමද දවා අළු කර දැමූ අතිශය වේදනාකාරී සිද්ධියක් මාතර ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
එකම වාසස්ථානයක ජීවත් වූ පවුලක, මවගේ සහෝදරයාගේ අමානුෂික ප්‍රහාරයකට ලක්ව විසි දෙහැවිරිදි චරිත් අවන්ත නමැති තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ඛේදවාචකයට හේතුව වශයෙන් පෙනී යන්නේ දේපළ හෝ මුදල් සම්බන්ධ ගැටලුවක් නොව, නිවසේ නිදාගන්නා කාමරයක් පිළිබඳව ඇති වූ සුළු වාදයකි.
නිවසේ වහලයේ කොටසක් උළු වලින් ආවරණය කර තිබූ අතර, අනෙක් කොටස ඇස්බැස්ටෝස් තහඩු වලින් සකස් කර තිබුණි. මියගිය තරුණයාගේ කාමරය පිහිටා තිබුණේ සසඳන විට සිසිල් වූ උළු වහලය යටය. පවතින දැඩි උණුසුම දරාගත නොහැකි වූ පනස් අට හැවිරිදි අවිවාහක මාමා, එම කාමරය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා තිබේ. නමුත් තරුණයා එයට එකඟ නොවීමත් සමඟ දෙපාර්ශවය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවී තිබේ.
ඒ අතරතුර, කෝපය පාලනය කරගත නොහැකි වූ මාමා, බෑණාගේ කාමරය අසලට පැමිණ අත තිබූ පිහියකින් ඔහුට මාරාන්තික ලෙස ඇන ඇත. අනපේක්ෂිත මෙම ප්‍රහාරයෙන් තරුණයා දැඩි ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමටවත් නොහැකිව එතැනම මියගොස් ඇත.
සිද්ධියෙන් අනතුරුව සැකකරු ස්වෙච්ඡාවෙන් පොලිසියට භාර වී ඇති අතර, මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු බන්ධනාගාරගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදු කරමින් පවතී.
පරිසරයේ උණුසුම කාලයක් ගතව සිසිල් වුවද, කෝපයේ මොහොතකින් අහිමි වූ යොවුන් ජීවිතයත්, සිරගෙට පත් වූ ලේ නෑකමත්, එම නිවසට යළි කිසිදා සැනසීමක් ගෙන එන්නේ නැත.