සිනහවෙන් හා සතුටින් පිරුණු අවුරුදු උත්සවයක්, එක මොහොතකින් කිසිදා නොමැකෙන කඳුළු කතාවක් බවට පත්වේවි යැයි ඒ පවුලේ කිසිවෙකු සිතා නැත.
පිළියන්දල, දම්පේ ප්‍රදේශයේ හෝටලයක පිහිටි පිහිනුම් තටාකයකට වැටීමෙන් හය හැවිරිදි කුඩා දැරියක අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ ඛේදවාචකයක් පෙරේදා (18) සවස වාර්තා විය. මෙලෙස අකාලයේ දිවි ගමන නිම කළේ පන්නිපිටිය, පැලැන්වත්ත මිහිඳුපුර ප්‍රදේශයේ පදිංචිව සිටි, ඇරැව්වල ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබමින් සිටි ඉහන්සා නමෝදී පෙරේරා නම් සිඟිත්තියයි.
මව විදේශගතව සිටීම හේතුවෙන්, ඇය හැදී වැඩී ඇත්තේ පියාගේ සහෝදරියගේ ආදරය හා රැකවරණය යටතේය. එම තත්ත්වය මෙම සිදුවීමේ වේදනාව තවත් ගැඹුරු කරයි. සිද්ධිය සිදු වූ දින, පවුල් කිහිපයකට අයත් ආසන්න ඥාතීන් හතළිහකට ආසන්න පිරිසක් උදෑසන සිටම අලුත් අවුරුදු සැමරුමක් සඳහා එම හෝටලයට පැමිණියේ මහත් උද්යෝගයකින්ය. දවස පුරා සතුටින් කාලය ගත කළ ඔවුහු සවස් වනවිට ජල ක්‍රීඩා කරමින් විනෝද වීමට පිහිනුම් තටාකය අසලට රැස්ව සිටියහ.
සවස 4.15ට පමණ, කුඩා දරුවන් ඇතුළු දස දෙනෙකු පමණ තටාකය අසල රැඳී සිටියදී, කිසිවෙකුගේ අවධානයට නොපැමිණි අනතුරක් සිදු විය. වැඩිහිටියන් සඳහා වෙන් කර තිබූ කොටසට අසල සිටි දැරියගේ මාමාට, ජලය යට කළු පැහැති ගුලියක් වැනි දෙයක් පෙනී ගියේය. එය සෝදිසි කළ ඔහුට, තම කුඩා ඥාති දියණිය ජලය යට ගිලී සිටින බව හෙළි විය. වහාම ක්‍රියාත්මක වූ ඔහු, තටාකයට පැන දැරිය ගොඩට ගෙන ප්‍රථමාධාර ලබා දී, පිළියන්දල දිසා රෝහල වෙත ඉක්මනින් රැගෙන ගියේය.
රෝහලේ වෛද්‍යවරුන් දැඩි උත්සාහයක් ගත්ද, එවිටත් ඉහන්සාගේ ජීවිතය නිමා වී ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ පිළියන්දල–කැස්බෑව හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘතදේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට යොමු කරන ලෙසත්, මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමටත් පොලීසියට නියෝග කර තිබේ.
පිළියන්දල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී. එක් මොහොතක අවධානය ගිලිහී යාම දරුවන්ගේ ජීවිතයට කොතරම් විශාල අනතුරක් විය හැකිද යන්න මේ සිදුවීම තවත් වරක් මතක් කර දෙයි. ඊයේ තෙක් සිනා හඬින් පිරී ගිය ඒ පරිසරය, අද කුඩා ඉහන්සාගේ වියෝවෙන් නැගෙන කඳුළු සහ නිහඬ සුසුම් පමණක් ඉතිරි කර ඇත.