මඩකලපුව දිස්ත්‍රික්කයේ ආයිත්තමලේ, උන්නිච්චිය ප්‍රදේශයේ අද (01) වන දින සිදුවූ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ වවුනතිව්, කන්නන්කුඩා, මුන්දාලමඩු ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි අයියාදුදොරේ කන්දසාමි නමැත්තෙකි.
ඔහු උන්නිච්චිය, සිප්පිමඩු පාර 08 කණුව අසල පිහිටි කුඹුරු ඉඩමක ආරක්ෂාව සඳහා පැලක රැඳී සිටියදී වන අලියෙකු විසින් පහර දී ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය අසල කුඹුරු හිමිකරුවෙකු වන සින්නතම්බි සාමිතම්බි විසින් දැක ආයිත්තමලේ පොලිස් ස්ථානයට දැනුම් දී ඇත.
නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත, මඩකලපුව දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් ලීලාරත්නගේ මෙහෙයවීමෙන්, ආයිත්තමලේ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්. චන්ද්‍රකුමාර ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.
එමෙන්ම, නැගෙනහිර වනජීවී සහකාර අධ්‍යක්ෂ ප්‍රසාන්ත විමලදාසගේ උපදෙස් යටතේ වනජීවී නිලධාරීන් ද සිද්ධි ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මියගිය පුද්ගලයාගේ පවුලට කඩිනමින් වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන ලෙසද උපදෙස් ලබා දී ඇත.