කොත්මලේ වෙදමුල්ල රම්බොඩ ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට ගිය කොත්මලේ පොලීසියේ නිළධාරීන් 07 දෙනෙකුට අද (01) බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
වැටලීම සඳහා රක්ෂිතය තුළ ගමන් කරමින් සිටියදී ගසකට බැඳ තිබූ බඹර කුඩුවක්, පවතින වියළි කාලගුණය හේතුවෙන් ඇවිස්සී, කොත්මලේ පොලීසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිළධාරීන් හත් දෙනා බඹරුන් විසින් දෂ්ඨ කර ඇත.
මෙම ප්‍රහාරයෙන් පොලිස් නිළධාරීන් තුවාල ලබා ඇති බව කොත්මලේ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික ලලිත් මහතා සඳහන් කරයි.
සිද්ධිය පිළිබඳ ලද තොරතුරු අනුව 1990 සුවසැරිය ගිලන් රථ දෙකක් එම ප්‍රදේශයට යොමු කර තුවාල ලැබූ නිළධාරීන්ගෙන් දෙදෙනෙකු කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, බරපතල තත්ත්වයේ සිටි අනෙක් පස් දෙනා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර තිබේ.
එමෙන්ම, නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ නිළධාරියෙකු සඳහන් කළේ, බඹර ප්‍රහාරයට ලක් වූ නිළධාරීන් අතරින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.