හොරණ පොලිස් වසමට අයත් වගවත්ත ප්‍රදේශයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය මැණික් පතලක් තුළ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ, තවත් පිරිසක් සමඟ එම අනවසර පතලේ මැණික් ගරමින් සිටියදී, අනපේක්ෂිත ලෙස විශාල පස් කන්ඩියක් කඩා වැටී ඔහු එයට යටවී ඇති බවයි.
බරපතල තුවාල ලැබූ ඔහුව වහාම හොරණ රෝහලට රැගෙන ගියද, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
මෘත දේහය මේ වන විට හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) දින පැවැත්වීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.