Breaking

Post Top Ad

Friday, April 10, 2026

පොලිසියේ දී පියෙකු සහ පුතෙකු ඝාතනය කළ ඉන්දීය පොලිසියේ 9 කට ද්විත්ව මරණ දඬුවම්

 සාතන්කුලම් පොලිස් අත්අඩංගුවේදී පියෙකු සහ පුතෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දකුණු ඉන්දියාවේ මදුරෙයි අධිකරණය විසින් පුද්ගලයින් නව දෙනෙකුට මරණ දඬුවම නියම කර ඇත. එමෙන්ම සියලු චූදිතයන්ට දඩ මුදල්ද නියම කර තිබේ.

මෙම සිද්ධිය 2020 ජූනි 19 වන දින, කොවිඩ්-19 වසංගත සමයේදී ටුටිකොරින් දිස්ත්‍රික්කයේ සතාන්කුලම්හි සිදුවිය. ව්‍යාපාරික ජයරාජ් සහ ඔහුගේ පුත් බෙනික්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහර දී ඇති අතර, පසුව ඔවුන් කෝවිල්පට්ටි බන්ධනාගාරයට රැගෙන ගොස් ඇත. ජූනි 22 රාත්‍රී බෙනික්ස් මියගොස්, පසුදා උදෑසන ජයරාජ් ද මිය ගියේය.


මෙම සිද්ධිය රට පුරා දැඩි විවේචනයට ලක් වූ අතර, මදුරාසි මහාධිකරණයේ මදුරෙයි විනිසුරු මඩුල්ල ස්වේච්ඡාවෙන් නඩුවක් ආරම්භ කළේය. පසුව එය මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) වෙත භාර දී විමර්ශනය කරන ලදී. ප්‍රධාන සැකකරු ලෙස සාතන්කුලම් පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක ශ්‍රීධර් ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇත.


විත්තිකරුවන් 10 දෙනාම අත්අඩංගුවට ගෙන රඳවා තැබූ අතර, ඔවුන්ගෙන් එක් අයෙකු 2020 අගෝස්තු මාසයේදී කොවිඩ් ආසාදනයෙන් මිය ගියේය. CBI විසින් පිටු 2,427කින් යුතු චෝදනා පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් කළ අතර, නඩුව මදුරෙයි අධිකරණයේදී විභාග විය.


2026 මාර්තු 23 වන දින සියලු විත්තිකරුවන් වරදකරුවන් ලෙස ප්‍රකාශයට පත් කරමින්, අප්‍රේල් 6 වන දින දඬුවම් ප්‍රකාශයට පත් කරන ලදී.

දඬුවම් ප්‍රකාශයට පත් කිරීමට පෙර විනිසුරු මුතුකුමාරන් විසින් දැඩි අදහස් පළ කළ අතර, මෙම ක්‍රියාව “මානව අභිමානය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක්” බව සඳහන් කළේය. නිරායුධ පුද්ගලයන්ට අමානුෂික ලෙස පහර දී ඔවුන්ගේ ජීවිත අවසන් කිරීම අධිකරණය කිසිවිටෙකත් සමාව දිය නොහැකි අපරාධයක් බවද ඔහු අවධාරණය කළේය.


ඒ අනුව ප්‍රධාන විත්තිකරු වන පොලිස් පරීක්ෂක ශ්‍රීධර් ඇතුළු නව දෙනෙකුට ද්විත්ව මරණ දඬුවම නියම කර ඇති අතර, ඒ හැර නීතියේ විවිධ වගන්ති යටතේ වසර 1 සිට 7 දක්වා සිර දඬුවම් සහ ඉන්දීය රුපියල් ලක්ෂ 76කට අධික මුළු දඩ මුදලක්ද නියම කර ඇත.

මෙම තීන්දුව පිළිබඳව බෙනික්ස්ගේ සහෝදරිය ප්‍රකාශ කළේ, වසර හයකට පසු තම පවුලට යුක්තිය ඉටු වී ඇති බවත්, එය තම පවුලට පමණක් නොව සමාජයම සඳහා වැදගත් පියවරක් බවත්ය.


ඇය තවදුරටත් සඳහන් කළේ, මෙවැනි සිදුවීම් නැවත කිසිදු පවුලකට සිදු නොවිය යුතු බවත්, වැරදිකරුවන් අභියාචනයක් ඉදිරිපත් කළහොත් තමන් අවසානය දක්වා නීතිමය සටන ඉදිරියට ගෙන යන බවත්ය.


අධිකරණයද සිය තීන්දුවේ සඳහන් කර ඇත්තේ, මෙවැනි සිදුවීම් නැවත සිදු නොවිය යුතු බවත්, එය සමාජයට දැඩි පාඩමක් විය යුතු බවත්ය.

Post Top Ad

Pages