පූවරසන්කුලම් පොලිස් වසමට අයත් පුදියකෝවිල්කුලම් ප්‍රදේශයේ සිදු වූ පිහි ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ 56 හැවිරිදි කාන්තාවක් අද (09) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
පොලිසිය පවසන්නේ, අද අලුයම එම කාන්තාව හා ඇයගේ සහෝදරයා අතර ඇති වූ වාග් විවාදයක් උත්සන්න වීමෙන් මෙම සිද්ධිය ඇතිව ඇති බවයි. එහිදී සහෝදරයා විසින් එල්ල කළ පිහි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇත.
මරණයට පත්වූයේ පුදියකෝවිල්කුලම් ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවකි.
සිද්ධියට අදාළව වයස අවුරුදු 44ක් වන ඇයගේ සහෝදරයා පූවරසන්කුලම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු ද එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පූවරසන්කුලම් පොලිසිය මගින් සිදු කරමින් පවතී.