Breaking

Post Top Ad

Sunday, April 19, 2026

බස් අනතුරින් මියගිය ගුරුවරිය ගැයූ ගීතය වෛරල් වෙයි

 මෙය ඇගේ ජීවිතයේ අවසන් ගමනේදී ගැයූ අවසන් ගීතය විය හැකි බව එදා කිසිවෙකුටත් අවබෝධ වී නොතිබුණි.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයම දැඩි කම්පනයකට ලක් කළ වල්පාරෙයි බස් අනතුරෙන් පාසල් ගුරුවරුන් ඇතුළු නව දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. එම අය අතර සිටි ආශා ගුරුතුමියගේ සංවේදී වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යය හරහා බොහෝ දෙනෙකුගේ හදවත් සසල කරමින් පවතී. අඩි 300කට ආසන්න ගැඹුරු ප්‍රපාතයකට පෙරළී ගිය එම බස් රථය තුළ ගමන් කරමින් සිටියේ පාන්ග් පල්ලිපරම්බු රජයේ ප්‍රාථමික විද්‍යාලයේ විනෝද චාරිකාවකට එක්වූ කණ්ඩායමකි.

තමිල්නාඩුවේ කොයිම්බතූර් දිස්ත්‍රික්කයේ වල්පාරෙයි ප්‍රදේශයේදී සිදුවූ මෙම අනතුරට හේතුව වාහනය පාලනය කර ගැනීමට නොහැකි වීම බව සැක කෙරේ. 13 වන වංගුවෙන් පහළට පෙරළී ගිය බස් රථය වංගු කිහිපයක් තරණය කරමින් අවසානයේ 9 වන වංගුව ආසන්නයේ නතර වී ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත.


මරණයට පත්වූවන් අතර මලප්පුරම් දිස්ත්‍රික්කයේ පාසල් ගුරුවරුන් හය දෙනෙකු, පාසල් කෝකියෙකු, 12 හැවිරිදි පිරිමි දරුවෙකු සහ තවත් ඥාතියෙකු සිටින බව තහවුරු වී ඇත. අනතුර සිදුවන අවස්ථාවේ රථයේ පුද්ගලයන් 12 දෙනෙකු සිටි අතර, ඔවුන් අතරින් කාන්තාවන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. තුවාල ලැබූ රියදුරු ඇතුළු සිව් දෙනාගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් කොයිම්බතූර් වෛද්‍ය විද්‍යාල රෝහල වෙත යොමු කර තිබේ.


මෙම කණ්ඩායම එදින උදෑසන කේරළයේ අතිරපිලි දියඇල්ල නැරඹීමෙන් අනතුරුව වල්පාරෙයි ප්‍රදේශයේ සංචාරයක යෙදී, පොල්ලාචි හරහා ආපසු ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ. වල්පාරෙයි හා පොල්ලාචි අතර මාර්ගය මාරක වංගු 40කින් සමන්විතව ඇති බැවින් එය නිතර අනතුරු සිදුවන අවදානම් මාර්ගයක් ලෙස සැලකේ.

ප්‍රදේශවාසීන් සහ මුදාගැනීමේ කණ්ඩායම් එක්ව සුන්බුන් අතර සිරවී සිටි අය දැඩි පරිශ්‍රමයෙන් මුදාගෙන ඇත. අනතුරට පෙර, සිනහමුසු මුහුණකින් යුතුව මියුරු ස්වරයෙන් ගීතයක් ගායනා කරන 41 හැවිරිදි ආශා ගුරුතුමියගේ වීඩියෝ දසුන් ඇගේ මිතුරෙකු වන නීතීඥ කේ. ආර්. සුභාෂ් චන්ද්‍රන් විසින් සමාජ මාධ්‍යයට එක් කර තිබුණි. ඔහු සඳහන් කර ඇත්තේ, එය ඇයගේ අවසන් ගීතයදැයි තමා නොදන්නා නමුත්, එම දසුන් කඳුළු රහිතව නරඹා අවසන් කළ නොහැකි බවයි.


මෙම ශෝකජනක අනතුරෙන් පාසලේ විදුහල්පතිනිය වූ 54 හැවිරිදි අජිතා, ආශා ගුරුතුමිය ඇතුළු ගුරුවරියන් කිහිප දෙනෙකු, පාසල් කෝකිය සහ 12 හැවිරිදි හිෂාම් නමැති දරුවා ජීවිතක්ෂයට පත්විය. සතුටින් ආරම්භ වූ විනෝද චාරිකාවක් මොහොතකින්ම මරණයේ නිම්නයකට පෙරළී යාම, සමස්ත කේරළ ජනතාවට දරාගත නොහැකි වේදනාවක් ගෙන දී ඇත.

එමෙන්ම තවත් කිහිප දෙනෙකු රෝහල්ගතව දැඩි සත්කාර යටතේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටීම තත්වය තවත් සංවේදී කරයි. සතුටින් ආරම්භ වූ ගමනක් මෙතරම් දුෂ්කර ලෙස අවසන් වීම, මනුෂ්‍ය ජීවිතයේ අනපේක්ෂිත බව අපට යළිත් මතක් කරයි.


ප්‍රපාතයට පෙරළී නිහඬව ගිය ඒ බස් රථයේ සුන්බුන් අතරින්, ආශා ගුරුතුමියගේ අවසන් ගීතයේ දෝංකාරය පමණක් අදටත් සදාකාලිකව රැව්දෙමින් පවතී.

Post Top Ad

Pages