නානුඔය සිට කිරිමැටිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ බොලෙරෝ වර්ගයේ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවෙසක් මතට පෙරළී ගොස්, පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව නානුඔය පොලිසිය සඳහන් කරයි.
මෙම අනතුර ඊයේ (25) රාත්‍රී කාලයේදී තලවකැලේ – ඩෙස්ෆෝඩ් හරහා නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කිරිමැටිය ප්‍රදේශයේදී සිදුව ඇති බවද පොලිසිය පවසයි.
මූලික විමර්ශන අනුව හෙළිව ඇත්තේ, අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයේ තිරිංග පද්ධතිය අක්‍රීය වීම හේතුවෙන් රියැදුරුට වාහනය පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බවයි.
ඒ අනුව මාර්ගයෙන් ඉවතට පැන ගිය ලොරි රථය පහළින් පිහිටි නිවෙසක් මතට පෙරළී ගොස් ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ රියැදුරු සමඟ ඉදිරිපස ගමන් කළ තවත් දෙදෙනෙකුද තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මෙම අනතුර හේතුවෙන් නිවෙසටත් ලොරි රථයටත් බරපතල හානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නානුඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතී.