Breaking

Post Top Ad

Thursday, April 30, 2026

ආලෝකාගේ අපූරු ගතිගුණ පශු වෛද්‍යවරුනුත් පුදුම කරයි

ඉන්දියාවේ කල්කටා නගරයේ වීදියක අතරමංව ජීවත් වූ අසරණ සුනඛයකු, ලෝක නායකයන්ගේත් සාමාන්‍ය ජනතාවගේත් ආදරය දිනාගනිමින් සාමයේ සංකේතයක් බවට පත්වේ යැයි කවුරුන් සිතන්නට ඇත්ද? එහෙත් අද එය සත්‍යයකි. ඒ ‘ආලෝකා’ නම් වූ අපූරු වීදි සුනඛයාගේ කතාවයි.

‘සාමය සඳහා ඇවිදින්න’ යන තේමාව යටතේ වියට්නාම ජාතික භික්ෂුවක් වන පඤ්ඤාකර හිමිපාණන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා විසින් ආරම්භ කළ ඒහිපස්සිකෝ සාම පාගමන, ඊයේ නිදහස් චතුරස්‍රය හිදී සාර්ථකව අවසන් විය. එම අවසන් අවස්ථාවට අනුර කුමාර දිසානායක ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගී වූහ.


කෙසේ වෙතත්, මෙම ඓතිහාසික පාගමනේ සැබෑම අවධානය දිනාගත්තේ භික්ෂූන් වහන්සේලා නොව, ‘ආලෝකා’ ය. ජය ශ්‍රී මහා බෝධිය අසළ ආශිර්වාද ලබා, දඹුල්ල නගරයෙන් ආරම්භ වූ මෙම ගමනේදී ආලෝකා දැක්වූ ඉවසීම සහ කැපවීම බොහෝ දෙනාගේ සිත් ඇදගත්තේය.


ගමන පුරාවටම ආලෝකා දැක්වූයේ විශේෂ සංයමයකි. මහජනතාව ආදරයෙන් ළංවී අතපත ගෑවත්, කිසිදු අවස්ථාවක කිසිවෙකුට ආක්‍රමණශීලී නොවූ මේ සත්වයා, තම සෙනෙහස සම්පූර්ණයෙන්ම භික්ෂූන් වහන්සේලා වෙතම යොමුකර තිබුණි. පශු වෛද්‍ය පරීක්ෂණවලදී පවා දැඩි කීකරු බවක් පෙන්වූ ආලෝකා, නිරන්තරයෙන්ම උත්සාහ කළේ භික්ෂූන් වහන්සේලාගේ සෙවණේම සිටීමටය.

උදෑසන ස්වාමීන් වහන්සේලා අවදි වන මොහොතේම අවදිවන ආලෝකාට, ඔවුන්ගේම දෝතින් ජලය ලබාදෙන දර්ශන බොහෝ දෙනාගේ සිත් සංවේදී කළේය.


කල්කටා නගරයේදී මෙම පාගමනට එක්වූ ආලෝකා, ඇමරිකාව හරහා ශ්‍රී ලංකාවට පැමිණි විශේෂ ආගන්තුකයෙකු ලෙස සැලකේ. ඔහුගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය වෙනුවෙන් බලධාරීන්ද දැඩි අවධානයක් යොමු කළහ. ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු මැදිහත්වීමෙන්, ආලෝකාගේ ආරක්ෂක වගකීම් ශ්‍රී ලංකා පොලීසිය යටතේ මහනුවර අස්ගිරිය නිල සුනඛ කොට්ඨාසයට භාර දෙන ලදී.

එමෙන්ම, පශු වෛද්‍ය කණ්ඩායම් විසින් ඔහුගේ සෞඛ්‍යය නිරන්තරයෙන් පරීක්ෂා කළ අතර, අසනීප වී ඇති බවට පැතිර ගිය කටකතාද ප්‍රතික්ෂේප කෙරිණි. පේරාදෙණිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් තහවුරු කළේ ආලෝකා සම්පූර්ණ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.


මෙම දිනවල පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් දහවල් කාලයේදී පාගමන වෙනුවට වාහනයකින් ගෙන යාමට පියවර ගත්තද, ආලෝකා එයටද කැමැත්තක් නොදැක්වීය. ඔහුට අවශ්‍ය වූයේ තමන් ආදරය කරන භික්ෂූන් වහන්සේලා සමඟ පයින්ම ගමන් කිරීමටය.


වීදියක උපත ලබා, කිසිදු භාෂාවක් නොදැන ලෝකයක් එකතු කළ ආලෝකා, මනුෂ්‍යත්වය, ආදරය සහ කැපවීම පිළිබඳ නිහඬ පාඩමක් ලෝකයට ඉගැන්වීය. සමහරවිට, දහසක් දේශනාවලින් නොකියැවෙන දේ, මේ නිහඬ සත්වයාගේ හැසිරීමෙන්ම පැහැදිලි විය.

Post Top Ad

Pages