කෙසෙල්ගමු ඔයේ දිය නාමින් සිටියදී අතුරුදහන් වූ පාසල් සිසුවෙකුගේ සිරුර නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් අද (05) දහවල් දැඩි උත්සාහයකින් අනතුරුව සොයා ගෙන ගොඩ ගෙන ඇති බව නෝර්වුඩ් පොලිසිය පවසයි.
මෙලෙස සොයා ගෙන ඇත්තේ නෝර්වුඩ් වත්තේ පදිංචි, නෝර්වුඩ් අයර්බි දමිළ මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සීදරන් වාගීෂන් නමැති සිසුවාගේ සිරුරයි.
සිද්ධියට අනුව, ඔහු පසුගිය (04) දින පස්වරුවේ මිතුරන් 11 දෙනෙකු සමඟ කාසල්රි ජලාශයට ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයේ “සිල්වර් වල” ලෙස හඳුන්වන ස්ථානයේ දිය නාමින් සිටියදී අතුරුදහන් වී ඇත.
අතුරුදහන් වූ සිසුවා සොයා නෝර්වුඩ් පොලිසිය හා ප්‍රදේශවාසීන් විසින් විශාල සෙවීමක් සිදු කළද, එම ස්ථානය ගැඹුරු බැවින් සිරුර සොයා ගැනීමට අපහසු වූ අතර, ඒ සඳහා නාවික හමුදාවේ සහය ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබුණි.
අවසානයේ, නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් සිල්වර් වලේ ගැඹුරු ප්‍රදේශයක තිබූ සිරුර සොයා ගෙන ගොඩ ගෙන ඇත.
සොයා ගත් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිත බව නෝර්වුඩ් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.