මාතලේ ප්‍රදේශයේ පිහිටි ජාතික පාසලක ඉගෙනුම ලබන සිසුවෙකුට ලිංගික අපයෝජනයක් සිදු කළ බවට එල්ල වූ බරපතළ චෝදනාවක් සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා අද (31) දින අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධියට ගොදුරු වී ඇත්තේ එම පාසලේම අධ්‍යාපනය හදාරමින් සිටින වයස අවුරුදු 14ක පිරිමි සිසුවෙකි. සිසුවාට ලිංගික අතවර සිදු කළ බව පවසමින් සැකකාර විදුහල්පතිවරයාට එරෙහිව ඊයේ (30) මහවෙල පොලීසිය වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පැමිණිල්ල ලැබුණු වහාම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් ආරම්භ කළද, එවකට ඔහු ප්‍රදේශයෙන් පලාගොස් සිට ඇති බව සඳහන් වේ. කෙසේ නමුත්, ප්‍රදේශවාසීන් විසින් ඔහු ස්ථාන කිහිපයක සැඟවී සිටින බවට පොලීසියට ලබාදුන් තොරතුරු මත සෝදිසි මෙහෙයුම් පුළුල් කර ඇත.
එම මෙහෙයුම් අතරතුරදී, සැකකාර විදුහල්පතිවරයා අද (31) උදෑසන මහවෙල පොලීසිය වෙත පැමිණ ස්වෙච්ඡාවෙන් භාරවී ඇති බව පොලීසිය තහවුරු කරයි.