සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ජර්මන් ජාතික කාන්තාවක් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මරණයට පත්වී තිබේ. මියගිය කාන්තාව ඇන්ඩ්‍රියා සිල්වියා නම් 59 හැවිරිදි වියේ පසුවූ විදේශිකයෙකි.
ඇය පසුගිය 26 වැනිදා තම ස්වාමිපුරුෂයා ඇතුළු පිරිසක් සමඟ ශ්‍රී ලංකාවට පැමිණ තිබූ අතර, කොළඹ සහ හබරණ ප්‍රදේශවල සංචාරය කිරීමෙන් අනතුරුව 28 වැනිදා මහනුවරට පැමිණ ඇත. එහිදී දොඩම්වල, ලේඩි මැක්ලම් මාර්ගයේ පිහිටි සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටියාය.
කෙසේ වෙතත්, 29 වැනිදා දහවල් ඇය හදිසි අසනීප තත්ත්වයකට ගොදුරු වී හෝටලයේ නාන කාමරයක් අසල ඇදවැටී තිබේ. සිද්ධිය දැකගත් හෝටල් කාර්ය මණ්ඩලය වහාම ක්‍රියාත්මක වී ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළද, එදින පස්වරුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෝටලයේ කළමනාකාරවරයා කටුගස්තොට පොලීසියට පැමිණිලි කර ඇති අතර, ඒ අනුව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
ඇයගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය උඩුනුවර හදිසි මරණ පරීක්ෂකවරයා විසින් සිදුකර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය 31 වැනිදා පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී පැවැත්වුණි. එහිදී හෙළිවී ඇත්තේ, දිගුකාලීනව පැවති බඩවැලේ ආසාදනයක් උත්සන්න වීම මෙම මරණයට හේතු වී ඇති බවයි.
තවද, එම රෝගී තත්ත්වය හේතුවෙන් මීට මාසයකට පමණ පෙර ඇය ශල්‍යකර්මයකට ද භාජනය වී තිබූ බව වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
වීඩියෝව නරඹන්න 👇👇👇
