Breaking

Post Top Ad

Sunday, April 26, 2026

ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් තරුණයෙකු මරණයට

 

ගලෙන්බිඳුණුවැව පොලිස් බලප්‍රදේශයේ උපුල්දෙණිය, පහලගම වැව් බැම්ම මතින් ගමන් කළ ට්‍රැක්ටර් රථයක් බැම්මෙන් පහළට පෙරළීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.


මෙම අනතුර ඊයේ (25) පස්වරු 3.30ට පමණ සිදුව ඇති බව වාර්තා වේ.


අනතුරින් මියගොස් ඇත්තේ කන්තලේ, වාන්ඇල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු වන අතර, ඔහු එම ට්‍රැක්ටර් රථයේ රියදුරු ලෙස කටයුතු කරමින් සිට ඇති බව ගලෙන්බිඳුණුවැව පොලීසිය සඳහන් කරයි.


මියගිය තරුණයා ගොවිතැන් කටයුතු සඳහා මීට දින කිහිපයකට පෙර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයට පැමිණ ඇති අතර, උපුල්දෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් ට්‍රැක්ටර් රථයක රියදුරු ලෙස සේවය කරමින් එම නිවසේම නවාතැන් ගෙන සිට ඇත.


අනතුර සිදුවූ දින අදාළ හිමිකරුගේ කුඹුරු සී සෑම අවසන් කර ට්‍රැක්ටර් රථයෙන් නිවස බලා පැමිණෙමින් සිටියදී වැව් බැම්මෙන් පහළට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.


මියගිය තරුණයාගේ සිරුර මේ වන විට ගලෙන්බිඳුණුවැව රෝහලේ තැන්පත් කර ඇති අතර, අද (26) අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.


සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

Post Top Ad

Pages