ගණේමුල්ලේ සංජීව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ප්‍රධාන සැකකාරියක් ලෙස හඳුනාගෙන දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට නියෝග කර ඇති පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දිගේ නමින් පවත්නා තවත් බැංකු ගිණුම් කිහිපයක් අනාවරණය කරගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (06) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ දන්වා සිටියේය.
මෙලෙස හඳුනාගත් නව බැංකු ගිණුම් සම්බන්ධයෙන් අදාළ බැංකු වෙතින් වාර්තා කැඳවා වැඩිදුර විමර්ශන කිරීමට අවසර ලබා දෙන ලෙස ද කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම කරුණු ඉදිරිපත් කරනු ලැබුවේ ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින්ය.
එමෙන්ම, පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාරගත සැකකරුවන් පස්දෙනෙකු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළ බවද වාර්තා වේ.