Breaking

Post Top Ad

Sunday, April 12, 2026

වනතවිල්ලුවදී වන අලි පහරින් වනජීවි සේවකයෙකු මරුට

 

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළ සේවකයෙකු වනතවිල්ලුව ප්‍රදේශයේදී වන අලියෙකුගේ ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 34 හැවිරිදි වර්ණකුලසූරියගේ අමිල උදාර නමැති පුද්ගලයෙකි.


මියගිය පුද්ගලයා වනතවිල්ලුව වනජීවී කාර්යාලයේ සුළු සේවකයෙකු ලෙස සේවය කර ඇති අතර, සිද්ධිය සිදුවන අවස්ථාවේදී ඔහු වනතවිල්ලුව සහ තේවානුවර අතර පිහිටි විදුලි වැට ආශ්‍රිත රාජකාරි සඳහා යොදවා තිබූ බව සඳහන් වේ.


මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇත්තේ ඔහු රාත්‍රී කාලීන රාජකාරි නිමවා තවත් කිහිප දෙනෙකු සමඟ නිවසට ආපසු යමින් සිටියදීය. එම අවස්ථාවේදී ඔවුන්ට හදිසියේම රෞද්‍ර වන අලියෙකු මුණගැසී ඇති බව පොලිසිය පවසයි.


ඇසින් දුටු සාක්ෂි අනුව, අලියා ඔවුන් දෙසට කඩා පැනීමත් සමඟ බේරීමට උත්සාහ කළ මියගිය පුද්ගලයා එම ස්ථානයෙන් දිවගොස් තිබේ. කෙසේ වෙතත්, අලියා ඔහු පසුපස ලුහුබැඳ ගොස් ඇති අතර, කලබලයට පත්ව ඔහු බිම වැටී තිබේ. එහිදී අලියා විසින් ඔහුව පාගා දමා ඝාතනය කර ඇති බව වාර්තා වේ.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනතවිල්ලුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, සිද්ධියේ සම්පූර්ණ තොරතුරු අනාවරණය කර ගැනීමට කටයුතු කරමින් පවතී.

Post Top Ad

Pages