අනවසර වැලි ප්‍රවාහනයක් නතර කිරීමට ගිය අවස්ථාවේදී ට්‍රැක්ටරයට යට කර ඝාතනයට ලක්වූ යාපනය කොඩිගාමම් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් එච්. ජී. ඇල්බට් මහතාගේ අවසන් කටයුතු ඊයේ (30) රන්පොකුණුගම පිහිටි පවුලේ සුසාන භූමියේදී පූර්ණ පොලිස් ගෞරවාචාර මධ්‍යයේ විශාල ජනහමුවක් අතර සිදු කෙරිණි.
මෙම සිද්ධිය පසුගිය 28 දින සිදුවූ අතර, එහිදී මියගිය පොලිස් සැරයන්වරයා මරණයෙන් අනතුරුව උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබුණි. ඔහුගේ දේහය අවසන් ගෞරව සඳහා නිට්ටඹුව ප්‍රදේශයේ මශාලාවක තැන්පත් කර තිබූ බව වාර්තා වේ.
ඇල්බට් මහතාගේ හදිසි වියෝවෙන් ඔහුගේ බිරිඳ වන එන්. ඒ. ශාන්ති මහත්මිය සහ එකම දියණිය වන එච්. ඒ. දිල්කි සංජනා මහත් දැඩි කම්පාවට පත්ව සිටිති. පවුලේ ප්‍රධාන ආදායම් මූලාශ්‍රය වූ ඔහුගේ මරණයත් සමඟ ඔවුන්ගේ අනාගතය දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බව සඳහන් වේ.
මේ වනවිට දියණිය පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලාවක් හදාරමින් සිටින අතර, එය සම්පූර්ණ කිරීමට තවත් විශාල මුදලක් අවශ්‍ය බව පවුල පෙන්වා දෙයි. එමනිසා ඇල්බට් මහතාගේ අකල් මරණය හේතුවෙන් ඇයගේ අධ්‍යාපන කටයුතුද අඩාලවීමේ අවදානමක් මතුව ඇති බව සඳහන් කරයි.
රාජකාරිය ඉටු කිරීමට යමින් සිය ජීවිතය අහිමි කළ පොලිස් සැරයන් ඇල්බට් මහතා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව වහාම අවධානය යොමු කළ යුතු බව ඔහුගේ පවුලේ ඥාතීන් ඉල්ලා සිටිති.
වීඩියෝ නරඹන්න 👇👇👇