තලහිටිය ප්‍රදේශයේ පිහිටි පාසලක විදුහල්පතිවරයෙකු, සිසුවෙකුට ශාරීරික වශයෙන් පහරදුන් බවට ලැබුණු පැමිණිල්ලක් මත තෙබුවන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, එම පාසලේ 12 හැවිරිදි සිසුවෙකු පාසල තුළ දනගස්වා ඔහුගේ කනට සහ පිටට පහරදී ඇති බවට මවුපියන් විසින් පැමිණිලි කර ඇති බවයි.
ඉකුත් 20 වනදා නව පාසල් වාරය ආරම්භ වූ අවස්ථාවේදී, 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවා පන්තිභාර ගුරුවරියට කේක් එකක් ලබාදී තිබේ. එය ඔහු තනි අතකින් ලබාදීම විදුහල්පතිවරයා දැක ඇති බව වාර්තා වේ.
ඉන් අනතුරුව, ගුරුවරියගෙන් සමාව ගන්නා ලෙස දන්වා විදුහල්පතිවරයා සිසුවාට පහරදී ඇති බවට මවුපියන් පොලීසියට දැනුම් දී ඇත.
පහරදීමෙන් අනතුරුව සිසුවාගේ කනෙන් ලේ වහනය වීම හේතුවෙන්, මවුපියන් ඔහු හොරණ ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන දෙකකට රැගෙන ගොස් තිබුණද, එහිදී ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වේ. එම වෛද්‍ය මධ්‍යස්ථාන මඟින් දරුවා කළුතර නාගොඩ රෝහල වෙත රැගෙන යන ලෙස උපදෙස් ලබාදී තිබේ.
නාගොඩ රෝහලේ සිදුකළ පරීක්ෂණවලදී, සිසුවාගේ කන් බෙරයට හානි සිදුවී ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළ බව මවුපියන් විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
ඒ අනුව, සැකකාර 55 හැවිරිදි විදුහල්පතිවරයා අද දින නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.