කොළඹ කොටුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පිහිටි අඩි 20කට ආසන්න උසකින් යුත් මාර්ග සංඥා කුළුණක් මතට නැඟ පැයකට වැඩි කාලයක් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙකු, ගෙලට බැඳගත් තොණ්ඩුව කැඩී ජම්පින් මෙට්ටයකට වැටීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිඔට ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු 35ක් පමණ වන පුද්ගලයෙකි.
ඔහු ජනාධිපති කාර්යාලය ඉදිරිපිට කොළඹින් පිටතට වාහන ගමන් කරන මාර්ගයේ පිහිටි සංඥා කුළුණ මත නැඟ “බන්ධනයක් තියෙනවා, ඒක කපා ගන්න ඕනේ” සහ “ජනාධිපතිතුමා හමුවෙන්න ඕනේ” යනුවෙන් පවසමින් රැඳී සිටි බව පොලිසිය කියයි. එම ස්ථානයට පැමිණි කොටුව පොලිස් නිලධාරීන් ඔහුට පහළට බැසීමට උපදෙස් දුන්නද, ඔහු එය ප්‍රතික්ෂේප කර තිබුණි.
එසේම, චීත්තරෙද්දකින් සකස් කරගත් තොණ්ඩුවක කොටසක් සංඥා කුළුණේ ඉහළට බැඳ තිබූ අතර, බලහත්කාරයෙන් පහළට බැස්සවීමට උත්සාහ කළහොත් තමන් ගෙලට තොණ්ඩුව දමාගෙන මිය යන බවට ඔහු තර්ජනය කරමින් පැයකට වැඩි කාලයක් එම ස්ථානයේ රැඳී සිටියේය.
පසුව කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකය විසින් දිගු කළ හැකි ඉනිමන් රථයක් සහ ජම්පින් මෙට්ටයක් එම ස්ථානයට ගෙනවිත්, ඔහු සිටි ස්ථානයට පහළින් මෙට්ටය අතුරා ඔහු ආරක්ෂිතව පහළට ගැනීමට කටයුතු කළේය. එහිදී, ඉනිමන් රථය මතට එසවීමට උත්සාහ කරන අවස්ථාවේ ඔහු අතේ තිබූ තොණ්ඩුව ගෙලට දමාගෙන සංඥා කුළුණෙන් පැනී ඇති අතර, එම තොණ්ඩුව කැඩී ඔහු ජම්පින් මෙට්ටය මතට වැටී ඇත.