Breaking

Post Top Ad

Friday, April 10, 2026

ගොළු තරුණියකගෙන් මළ දරු උපතක්, බාප්පා DNA පරීක්ෂණයකට

 

ඇයට කතා කළ නොහැක. තමන්ට සිදු වූ අසාධාරණය ගැන හඬ නඟන්නට වචන ඇයට නොමැත.


එහෙත්, වචනයක්වත් ප්‍රකාශ කළ නොහැකි, සියලු දේ සඳහා අනුන්ගේ ආධාරය මත ජීවත් වන විසිඑක් හැවිරිදි තරුණියකට අත් වූ මේ දුක්ඛිත සිදුවීම සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට නීතිය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. ඇය බිහි කළ මළ දරු උපතේ පීතෘත්වය හෙළි කර ගැනීම සඳහා, ඇගේම පියා සහ සහෝදරයාගෙන් ලබාගත් ඩී.එන්.ඒ. සාම්පල අධිකරණ නියෝග මත රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට බණ්ඩාරගම පොලිසිය පියවර ගෙන ඇත.


බණ්ඩාරගම ප්‍රදේශයේ නිවසක මව, පියා සහ සහෝදරයා සමඟ ජීවත් වන මෙම තරුණියට තනිව කිසිදු කාර්යයක් ඉටු කිරීමට නොහැකිය. ඇයගේ හැඟීම් හෝ වේදනාවන් ප්‍රකාශ කිරීමට භාෂාවක් නොමැති අතර, ඇගේ මුඛයෙන් නිකුත් වන්නේ “ඕ” යන ශබ්දය පමණක් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. හස්ත සංඥාවකින්වත් අදහස් පැහැදිලි කිරීමට නොහැකි මෙවන් අසරණ තරුණියක් මෙතරම් කෲර අපරාධයකට ගොදුරු වීම සමාජයම කම්පනයට පත් කරන කරුණකි.


මෙම සිදුවීම මුලින්ම අනාවරණය වන්නේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය. දියණියට උදරාබාධයක් ඇති බව සඳහන් කරමින් ඇයව බණ්ඩාරගම දිසා රෝහලට රැගෙන ගිය අවස්ථාවේදී සිදුකළ මුත්‍රා පරීක්ෂණයකින් ඇය ගැබිනියක් බව තහවුරු විය. පසුව වෛද්‍ය උපදෙස් අනුව ඇය පානදුර කේතුමතී කාන්තා රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී සිදුකළ ස්කෑන් පරීක්ෂණවලින් ඇය සති දොළහක ගැබිනියක් බවත්, දරුවා උපත ලැබුවහොත් පැය විසිහතරකට වඩා ජීවත් නොවන බවත් වෛද්‍යවරුන් දැනුම් දී තිබේ.


ඒ අනුව, පසුගිය මස විසිහය වන දින ඇය බිලිඳියක් ප්‍රසූත කළද, උපත ලබන විටම එම දරුවා මියගොස් සිටියාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන්ගෙන් ලබාගත් ප්‍රකාශ අනුව, නිවසට කිසිදු පිටස්තර පුද්ගලයෙකු පැමිණි බවක් ඔවුන් ප්‍රකාශ කර නොමැත.


එම හේතුවෙන්, මෙම අපරාධය සිදුකළ පුද්ගලයා පිටස්තරයෙකුද, නැතහොත් පවුල තුළින්ම එය සිදු වී වසන් කිරීමට උත්සාහ දරනවාද යන්න පිළිබඳව පොලිසිය දැඩි අවධානය යොමු කර ඇත. පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් යටතේ සහ බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතාගේ මෙහෙයවීමෙන්, ළමා හා කාන්තා කාර්යාංශය විසින් පුළුල් පරීක්ෂණයක් මේ වන විට ක්‍රියාත්මක කරයි.


තමන්ට සිදු වූ දෙය ගැන වචනයක්වත් කියාගත නොහැකිව ඇය නිහඬව සිටියද, ඩී.එන්.ඒ. පරීක්ෂණ ප්‍රතිඵල මගින් එම නිහඬතාව බිඳ දමමින් සත්‍යය හෙළි කරනු ඇත.

Post Top Ad

Pages