සඳ ගවේෂණයේ නව පියවරක් ලෙස ඉතිහාසගත වූ Artemis II mission යානය, දින 10ක සාර්ථක මෙහෙයුමකින් අනතුරුව, කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් පිහිටි පැසිෆික් සාගරයට ආරක්ෂිතව ගොඩබස්ස බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අද (11) අළුයම් වේලාවේ සිදු වූ මෙම ගොඩබැසීමෙන් පසු, යානය පතිත වූ ස්ථානයට ඉහළින් රැඳී සිටි හෙලිකොප්ටර් මගින් ගගනගාමීන් එක් එක් අය ලෙස පිටතට ගෙන ඇත.
පසුව ඔවුන් USS John P. Murtha නෞකාව වෙත රැගෙන යාමට නියමිත අතර, එහිදී සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණවලට ඔවුන් භාජනය කරනු ඇත. එමෙන්ම, ගගනගාමීන් සිව්දෙනා නිරෝධායනයට යොමු කිරීමටද කටයුතු සැලසුම් කර තිබේ.
යානය පෘථිවියට ආපසු එමින් වායුගෝලයට ඇතුළු වූ අවස්ථාවේදී, එහි වේගය පැයට කිලෝමීටර් 38,000 දක්වා අඩු කරමින් පැසිෆික් සාගරයට සුරක්ෂිතව ගොඩබැස්වීමට හැකි විය.
මෙම මෙහෙයුම, වසර 54කට පසු මිනිසුන් නැවත සඳ ආසන්නයට යැවීම සඳහා NASA විසින් ආරම්භ කළ වැදගත් පියවරකි. එය පසුගිය අප්‍රේල් 1 වැනිදා ආරම්භ කරන ලදී.
මෙම දින 10ක ගමනේ විශේෂත්වය වන්නේ ගගනගාමීන් සඳ මත ගොඩබැසීමක් නොකර, ඔරියොන් කැප්සියුලය තුළ සිට සඳ වටා ගමන් කරමින් එහි අඳුරු පැතිකඩ නිරීක්ෂණය කිරීමයි.
ඒ අතරතුර, 1970 දී සිදු වූ Apollo 13 මෙහෙයුමේදී පිහිටුවා තිබූ, ගගනගාමීන් පෘථිවියෙන් දුරම ගමන් කළ වාර්තාවද මෙම මෙහෙයුමෙන් බිඳ දමා ඇත. එහිදී Artemis II කණ්ඩායම, Apollo 13 වාර්තාවට වඩා කිලෝමීටර් 6,607ක් වැඩි දුරක් ගමන් කර ඇත.
මෙම ගමන අතරතුර, ගගනගාමීන් සඳෙහි පිටුපස (අඳුරු) ප්‍රදේශයට පිවිසෙන අවස්ථාවේදී, පෘථිවිය සමඟ සන්නිවේදනය මිනිත්තු 40ක පමණ කාලයක් සඳහා තාවකාලිකව බිඳ වැටීමද සිදුවී තිබේ.