පාකිස්තානයේ ජනප්‍රිය යොවුන් ටික්ටොක් තරුවක් වූ 17 හැවිරිදි සනා යූසුෆ් ඝාතනය කළ පුද්ගලයාට ඉස්ලාමාබාද් අධිකරණයක් විසින් මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.
මෙම තීන්දුව ලබාදී ඇත්තේ පසුගිය වසරේ සනා යූසුෆ් ඝාතනය සම්බන්ධයෙන් පැවති නඩු විභාගයෙන් අනතුරුවයි.
23 හැවිරිදි උමර් හයාත් නම් සැකකරු, සනා සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ආරම්භ කරන ලෙස දිගින් දිගටම බලපෑම් කර ඇති අතර, ඇය එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහු කෝපයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පසුගිය වසරේ ජුනි මාසයේදී, සනාගේ උපන්දිනය දා ඇය හමුවීමට පැමිණි බව පවසමින් ඇගේ නිවසට ඇතුළු වූ සැකකරු, ඇතිවූ බහින්බස්වීමකින් අනතුරුව ඇයට වෙඩි තබා ඝාතනය කර තිබුණා.
පසුව ජූලි මාසයේදී අධිකරණය හමුවේ තම අපරාධය පාපොච්චාරණය කළ උමර් හයාත්, නඩු විභාගයෙන් වරදකරු බවට තීන්දු වූ අතර, ඔහුට මරණ දණ්ඩනය නියම කිරීමට අධිකරණය පියවර ගත්තා.
ඊට අමතරව, වින්දිත තරුණියගේ පවුල වෙත ඇමරිකානු ඩොලර් 9,000කට ආසන්න වන්දියක් ගෙවන ලෙසද අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම තීන්දුව පිළිබඳව අදහස් දක්වමින් සනාගේ පියා වන සයිඩ් යූසුෆ් හසන් ප්‍රකාශ කළේ, මෙවැනි අපරාධ කිරීමට පෙළඹෙන පුද්ගලයින්ට මෙම තීන්දුව දැඩි අනතුරු ඇඟවීමක් වනු ඇති බවයි.
සනා යූසුෆ් ඝාතනයෙන් අනතුරුව පාකිස්තානය පුරා දැඩි විරෝධතා රැල්ලක් ද මතුව තිබූ අතර, කාන්තාවන්ට එරෙහි හිංසනය සහ සමාජ මාධ්‍ය තුළ කාන්තාවන් මුහුණ දෙන තර්ජන පිළිබඳව දැඩි සංවාදයක් ද ඇතිවුණා.
ටික්ටොක් සහ ඉන්ස්ටග්‍රෑම් හරහා මිලියනයකට අධික අනුගාමිකයින් පිරිසක් හිමි සනා යූසුෆ්, පාකිස්තානයේ ජනප්‍රිය තරුණ සමාජ මාධ්‍ය චරිතයක් ලෙස සැලකුණු අතර, ඇගේ මරණයෙන් පසුවත් සයිබර් අවකාශය තුළ ඇය පිළිබඳ විවිධ විවේචන එල්ල වී තිබුණා.
සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ, මෙම සිදුවීම පාකිස්තානය තුළ තවමත් පවතින පිතෘමූලික හා කාන්තා ද්වේෂී සමාජ මානසිකත්වයේ තවත් ප්‍රතිඵලයක් බවයි.
‘බෝලෝ භී’ නම් ඩිජිටල් අයිතිවාසිකම් සංවිධානයේ අධ්‍යක්ෂ උසාමා ඛිල්ජි සඳහන් කළේ, අන්තර්ජාලය තුළ කාන්තා නිර්මාණකරුවන් මුහුණ දෙන තර්ජනාත්මක පරිසරය මෙම සිදුවීම හරහා යළිත් අවධානයට ලක්ව ඇති බවයි.
මේ අතර, CCTV කැමරා 113ක දර්ශන ඇතුළු තාක්ෂණික සාක්ෂි රැසක් උපයෝගී කරගනිමින් සිදුකළ විමර්ශන මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවීමට පාකිස්තාන පොලීසිය සමත් වී තිබෙනවා.