හැටන් දික්ඔය නගරයේ පිහිටි වෙළඳසැලක් තුළදී අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර, පවුම් 18ක ස්වර්ණාභරණ කොල්ලකා පලා ගිය බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු අද (23) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර සඳහන් කළේ, බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්‍රසෝ තේ වත්තේ නිවසක සැඟව සිටියදී මෙම සැකකරු රහසිගත තොරතුරක් මත අත්අඩංගුවට ගත් බවයි.
සොරකම් කරන ලද පවුම් 18ක ස්වර්ණාභරණ තොගයද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, දික්ඔය ප්‍රදේශයෙන් විවාහ වී සිටින පුද්ගලයෙකු බවයි.
ඝාතනයෙන් අනතුරුව ඔහු Facebook ඔස්සේ හඳුනාගත් කාන්තාවකගේ බගවන්තලාව ප්‍රදේශයේ පිහිටි නිවසක සැඟව සිට ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
මේ අතර, ඝාතනයට ලක් වූ අඹුසැමි යුවළගේ දේහ මේ වන විට ඔවුන්ගේ වෙළඳසැලේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (24) දිනයේ දික්ඔය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.