පසුගිය මැයි 18 වැනිදා මුල්ලේරියාව, අංගොඩ ප්‍රදේශයේදී කාන්තාවකට පෙට්‍රල් දමා ගිනි තබා පළාගිය ඇයගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා ඊයේ (22) මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අංගොඩ, මීගහවත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකු වන අතර, ඔහු මීට පෙර කිසිදු අපරාධ චෝදනාවකට සම්බන්ධ නොවූ පුද්ගලයෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසියට ලබාදුන් ප්‍රකාශයේදී සැකකරු පවසා ඇත්තේ, බිරිඳ වෙනත් පුද්ගලයන් සමඟ ඇසුරු කරන බවට ඇතිවූ සැකයක් සහ ඒ සම්බන්ධ පවුල් ආරවුල් හේතුවෙන් මෙම ක්‍රියාව සිදුකළ බවයි. ගිනි තැබීමෙන් අනතුරුව තමන්ද සියදිවි නසා ගැනීමට සැලසුම් කර තිබූ බවද ඔහු සඳහන් කර තිබෙනවා.
සිද්ධිය වූ දිනයේ සවස 5.32ට පමණ අංගොඩ ප්‍රදේශයේ වෙළඳසලක සේවය කරමින් සිටි කාන්තාව වෙත ත්‍රීරෝද රථයකින් පැමිණි සැකකරු, ඇයගේ හිසට පෙට්‍රල් දමා ගිනි තබා ස්ථානයෙන් පළාගොස් තිබෙනවා.
සැකකරු පළායන ආකාරය ආසන්නයේ තිබූ CCTV කැමරා පද්ධතිවල සටහන්ව තිබූ අතර, ඔහුගෙන් ලබාගත් තොරතුරු මත අපරාධයට යොදාගත් ත්‍රීරෝද රථය සහ පෙට්‍රල් බෝතලයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙනවා.
මෙම ප්‍රහාරයෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ කාන්තාව මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, ඇයගේ මුහුණ සහ පපු ප්‍රදේශයට බරපතළ හානි සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ හේතුවෙන් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් අසාධ්‍ය මට්ටමක පවතින බවද වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියද, කාන්තාවගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසිය මේ වනවිට සමත්ව තිබෙනවා.