දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වූ මහනුවර හන්තාන ප්‍රදේශයේ පිහිටි සඳගිරි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භය වෙත පිවිසෙන දොරටු දෙකක් බිඳ, ගර්භ බුද්ධ මන්දිරයේ තැන්පත් කර තිබූ රන්මාල, මැණික් සහ අනෙකුත් පූජා භාණ්ඩ කිසියම් පිරිසක් විසින් සොරකම් කරගෙන ගොස් තිබේ.
සඳගිරි සෑය විහාරාධිපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් ප්‍රකාශ කළේ, අද (23) උදෑසන මෙම සිදුවීම පිළිබඳව දැනගත් වහාම පොලීසිය සහ ආරක්ෂක අංශ දැනුවත් කිරීමට පියවර ගත් බවයි.
සිද්ධිය පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ, චෛත්‍යය පරීක්ෂා කිරීමට ගිය පිරිසක් දොරවල් බිඳ ඇති බව දැනුම් දුන් බවත්, ඒ සමඟම ඇතුළත තැන්පත් කර තිබූ ප්‍රධාන රන් කරඬුව සහ සර්වඥ ධාතූන් වහන්සේ පිළිබඳ දැඩි අවධානයක් ඇති වූ බවත්ය.
ආරක්ෂක අංශ සමඟ එක්ව සිදුකළ පරීක්ෂාවේදී, ගර්භය වෙත පිවිසෙන ප්‍රධාන දොරටු තුනේ අගුල් සම්පූර්ණයෙන්ම කඩා ඇතුළු වී ඇති බව අනාවරණය වී තිබේ.
විහාරාධිපති හිමියන් පවසන්නේ, ධාතු කරඬුව තුළ රටපුරා සහ විදේශයන්ගෙන් වන්දනා කිරීමට පැමිණි බැතිමතුන් පූජා කළ වටිනා භාණ්ඩ රැසක් තැන්පත් කර තිබූ බවයි. ඒ අතර මැණික් ගල් කිහිපයක් සහ ධාතු නිදානෝත්සවයෙන් අනතුරුව බැතිමතුන් විසින් පූජා කළ රන්මාල 10ත් 12ත් අතර ප්‍රමාණයක්ද සොරකම් කරගෙන ගොස් ඇති බව සඳහන් වේ.