පෑලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකුට දරුණු ලෙස පහරදී බරපතළ තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු අතරින් එක් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ පෑලියගොඩ, නෙල්ලිගහවත්ත, මීගමුව පාර ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි සමන් පාලිත කුමාරසිංහ මහතාය.
පොලිස් තොරතුරු අනුව, ඉකුත් අප්‍රේල් 23 වැනිදා මත්පැන් පානය කර සිටි මරණකරු සහ සැකකරුගේ මව අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ප්‍රහාරය සිදුව තිබේ. එම අවස්ථාවේදී කාන්තාවගේ පුතුන් දෙදෙනා එක්ව මරණකරුට පහරදී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ ඔහුට නැගිට ගැනීමට පවා නොහැකිව දින දෙකක් එම ස්ථානයේ වැටී සිටීමට සිදුව තිබූ අතර, පසුව අප්‍රේල් 25 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. දින 23ක් පුරා ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මේ මස 17 වැනිදා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් පසු සිද්ධිය මනුෂ්‍ය ඝාතනයක් ලෙස සලකා විමර්ශන ආරම්භ කළ පොලිසිය, ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ග්‍රෑන්ඩ්පාස්, පර්ගියුසන් පාරේ මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.
සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක අතර, ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.