Breaking

Post Top Ad

Saturday, May 9, 2026

අනුරාධපුර දැරියකට අතවර කළ තුන්දෙනාගෙන් 2ක් අල්ලයි

 

අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලෙගම හේමරතන හිමියන් ඇතුළු තිදෙනෙකු විසින් 15 හැවිරිදි බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජන සිදුකළ බව කියන සිද්ධියට අදාළව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි ව්‍යාපාරිකයෙකු පසුගිය 6 වැනිදා ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වින්දිත දැරිය විසින් ලබාදුන් ප්‍රකාශයකට අනුව, තමන් දෙවැනි වරට ලිංගික අතවරයට ලක්වූයේ මෙම ව්‍යාපාරිකයා අතින් බව අනාවරණය වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.


ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී දැරිය ප්‍රකාශ කර ඇත්තේ, තමන් මුලින්ම ලිංගික අතවරයට ලක්වූයේ අනුරාධපුර පූජා භූමියේ ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක අතින් බවයි. ඉන් අනතුරුව දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සහ පසුව තම පෙම්වතා ලෙස හඳුන්වාදුන් බස් කොන්දොස්තරවරයෙකු විසින්ද තමන්ට අතවර සිදුකළ බව ඇය හෙළි කර තිබේ.


විමර්ශනවලට අනුව දෙවැනි සහ තුන්වැනි සැකකරුවන් ලෙස සැලකෙන ව්‍යාපාරිකයා සහ කොන්දොස්තරවරයා මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධියට අදාළ හිමිනම තවමත් අත්අඩංගුවට ගෙන නොමැත.


සිද්ධිය සම්බන්ධ නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර DNA පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා මීට පෙර ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර තිබුණි.


බාලවයස්කාර දැරිය පසුගිය අප්‍රේල් 27 වැනිදා නිට්ටඹුව පොලිස් වසමේ ලැගුම්හලකදී, සිය පෙම්වතා යැයි කියන පුද්ගලයෙකු සමඟ සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. ඉන් අනතුරුව ඇය ගම්පහ මහ රෝහලට ඇතුළත් කර සිදුකළ දීර්ඝ විමර්ශනවලදී මෙම බරපතළ ලිංගික අපයෝජන සිද්ධිය සහ ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

Post Top Ad

Pages