Breaking

Post Top Ad

Friday, May 15, 2026

අලි ප්‍රහාරයකින් 44 හැවිරිදි දෙදරු මවක් මරණයට

 

ගිරිල්ල පොලිස් බලප්‍රදේශයට අයත් සිරිසෙතගම ප්‍රදේශයේදී ඊයේ (13) සිදුවූ වනඅලි ප්‍රහාරයකින් 44 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ගිරිල්ල පොලිසිය සඳහන් කරයි.


මියගොස් ඇත්තේ සිරිසෙතගම, ගිරිල්ල ප්‍රදේශයේ පදිංචි විවාහක කාන්තාවකි.


පොලිස් විමර්ශන අනුව, ඇය සිය නිවස පිටුපස රැඳී සිටියදී ප්‍රදේශයට පැමිණි වනඅලියෙකු විසින් හදිසියේ ප්‍රහාරයට ලක්කර තිබේ.


එම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව එම ස්ථානයේදීම මියගොස් ඇති බව අනාවරණය වී ඇත.


ප්‍රදේශවාසීන් පවසන්නේ පසුගිය දින කිහිපය පුරා මෙම ප්‍රදේශයේ වනඅලි ගැවසීම ඉහළ ගොස් ඇති අතර, ඒ හේතුවෙන් ජනතාව දැඩි භීතියකින් පසුවන බවයි.


තවද, වනඅලි මර්දන හා ආරක්ෂිත වැඩපිළිවෙළ ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක නොවන බවටද ප්‍රදේශවාසීන් චෝදනා කරයි.


සිද්ධිය සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ගිරිල්ල පොලිසියේ නිලධාරීන් පිරිසක් ස්ථානයට ගොස් මූලික විමර්ශන ආරම්භ කර ඇති අතර, මළසිරුර සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.


ගිරිල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Post Top Ad

Pages