Breaking

Post Top Ad

Friday, May 22, 2026

මාලදිවයිනේදී අතුරුදන් වූ කිමිදුම්කරුවන් 4 දෙනාගේ සිරුරු සොයාගැනේ

 

මාලදිවයිනේ වාවු අතොළු (Vaavu Atoll) ප්‍රදේශයේ සිදුවූ දරුණු කිමිදුම් අනතුරකින් අතුරුදන්ව සිටි ඉතාලි ජාතිකයින් සිව්දෙනාගේ සිරුරු සොයාගෙන ඇති බව එරට බලධාරීන් නිල වශයෙන් තහවුරු කර තිබේ.


පසුගිය බ්‍රහස්පතින්දා (14) සිදුවූ මෙම අනතුරෙන් මියගිය තවත් පුද්ගලයෙකුගේ සිරුර එදිනම හමුවී තිබූ අතර, සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අතරතුර මාලදිවයින ආරක්ෂක බලකායේ සහන සේවා කිමිදුම් නිලධාරියෙකු ද ජීවිතක්ෂයට පත්විය.


දේශීය බලධාරීන් පවසන්නේ, අලුතින් සොයාගත් සිරුරු හතර වාවු අතොළු කලාපයේ මීටර් 60ක් පමණ ගැඹුරින් පිහිටි දිය යට ගුහාවක් තුළ තිබී හමුවූ බවයි. මෙම මෙහෙයුම මාලදිවයින හා ෆින්ලන්තය නියෝජනය කළ විශේෂඥ කිමිදුම්කරුවන්ගේ ඒකාබද්ධ කණ්ඩායමක් විසින් සිදුකර ඇත.


සොයාගත් සිරුරු ගොඩගැනීමේ කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක අතර, ඒවා මතුපිටට රැගෙන ඒම සඳහා ඉදිරි දින කිහිපය තුළ තවත් කිමිදුම් මෙහෙයුම් පැවැත්වීමට නියමිත බව මාලදිවයින රජයේ ප්‍රකාශක මොහොමඩ් හුසේන් ෂරීෆ් (Mohamed Hussain Shareef) බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.


කොරල් දූපත් සහ අලංකාර මුහුදු පරිසරය නිසා ලොව පුරා සංචාරක ආකර්ෂණයක් බවට පත්ව ඇති මාලදිවයිනෙන් වාර්තා වූ දරුණුතම තනි කිමිදුම් අනතුරක් ලෙස විදෙස් මාධ්‍ය මෙම සිද්ධිය හඳුන්වා දෙයි.


මෙම අනතුරෙන් මියගිය ඉතාලි ජාතිකයින් අතර ජෙනෝවා විශ්වවිද්‍යාලයේ (University of Genoa) පර්යේෂණ කණ්ඩායමකට අයත් මහාචාර්ය මොනිකා මොන්ටෙෆැල්කෝන් (Monica Montefalcone), ඇයගේ දියණිය ජෝර්ජියා සොම්මකල් (Giorgia Sommacal), පර්යේෂකයන් වන මුරියෙල් ඔඩෙනිනෝ (Muriel Oddenino) සහ ෆෙඩෙරිකෝ ගුවල්ටියෙරි (Federico Gualtieri) ඇතුළත් වෙති. පස්වන ඉතාලි ජාතිකයා වූයේ බෝට්ටු මෙහෙයුම් කළමනාකරුවෙකු සහ කිමිදුම් උපදේශකයෙකු ලෙස කටයුතු කළ ජියාලුකා බෙනෙඩෙට්ටි (Gianluca Benedetti) ය.


මෙම ඛේදවාචකයේදී මාලදිවයින ආරක්ෂක බලකායේ සහන සේවා කිමිදුම් නිලධාරියෙකු වූ ස්ටාෆ් සැරයන් මොහොමඩ් මහ්දී (Mohamed Mahdhee) ද ජීවිතක්ෂයට පත්ව ඇත. පසුගිය සෙනසුරාදා සෝදිසි මෙහෙයුම්වලට එක්ව සිටියදී ඔහු අතුරුදන් වූ අතර, අනතුරුව සිහිය විසඥ තත්ත්වයෙන් දිය යට සිට සොයාගෙන රෝහල්ගත කර තිබුණි. එහෙත් ‘Decompression Sickness’ ලෙස හැඳින්වෙන කිමිදුම් ආබාධය හේතුවෙන් පසුව ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.


බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, අලුතින් සොයාගත් සිරුරු හතරම පළමු සිරුර හමුවූ දිය යට ගුහාවේම අභ්‍යන්තර කොටසක තිබී හමුවූ බවයි.

Post Top Ad

Pages