හැටන් දික්ඔය නගරයේ වෙළඳසැලක් තුළ තනිව ජීවත් වූ වයෝවෘද්ධ අඹුසැමි යුවලක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 82 හැවිරිදි එස්. කාලිමුත්තු සත්තිවේල් මහතා සහ ඔහුගේ බිරිඳ වන 82 හැවිරිදි සගුන්තලාදේවි මහත්මියයි.
පොලිසිය සැක පළ කරන්නේ කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් වෙළඳසැලට ඇතුළු වී මෙම ඝාතනය සිදුකර පළා ගොස් ඇති බවටයි.
මියගිය යුවලගේ දරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටින අතර, දෙමාපියන්ගේ සුවදුක් විමසීමට ලබාදුන් දුරකථන ඇමතුම්වලට දිගින් දිගටම ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් ඔවුන් අසල්වාසීන් දැනුවත් කර තිබෙනවා.
අනතුරුව අසල්වාසීන් වෙළඳසැල විවෘත කර පරීක්ෂා කිරීමේදී අඹුසැමි යුවලගේ සිරුරු හමුවී ඇති අතර, ඒ පිළිබඳව වහාම හැටන් පොලිසියට දැනුම් දී තිබෙනවා.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මියගිය යුවල දිගු කාලයක් එම ස්ථානයේ වෙළඳාම් කටයුතු සිදුකර ඇති අතර, පසුව වෙළඳසැල වසා දමා එහි තනිව ජීවත් වී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර, ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සහ ඝාතනයේ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.